Wednesday, November 9, 2016

සොදුරිය කාලය කොතරම් නපුරුද?

සොදුරිය කාලය කොතරම් නපුරුද?

----------------------------------------------------

"ඔය වයිපර් එක ඕෆ් කරන්න දැන් වැහැල ඉවරයි".

ගොඩ වෙලාවකට පස්සේ ආලියා කට ඇරියේ. ඇත්ත නේන්නම් දැන් වැස්ස නැවතිලා රත්නපාල ආලියා දිහා හීනියට බලල වයිපර් එක ඕෆ් කළා.

"මොකද, ඔයාට මහන්සිද ?" රත්නපාල කටහඩ අවදිකලා.

"ආයේ මට ඔයාලගේ ෆැමිලි එකේ පාටි වලට කථා කරන්න එපා" ආලියා ඉන්නේ මොකක් හරි අව්ලකින් වෙනදට කට වහගන්න කියනකම් කාර් එක දෙවනත් වෙන්න හිනා වෙනව. පාටි එකට ආපු අයගේ විස්තර තොර තෝංචියක් නැතිව කියවනව. "ඔයාලගේ ලොකු නැන්දා පුදුම ගෑනියෙක් , අනුන්ගේ මගුල් විතරමයි හොයන්නේ"

"ඇයි මොකද උනේ ? මොනවද ලොකු නැන්ද කිව්වේ ?"

"එයා කියනවා දන්න තැනක් තියෙනවලු, එතන හොද විශ්වාසවන්ත තැනක්ලු. අඩප්ෂන් ඇක්ට් එකේ විදියටම හරිටම එතන වැඩ කරනවලු, එයාට පිස්සුද අනේ, අපි ළමයෙක් හදන්නේ අපිට ඕන කාලෙක එයාට මොකටද අපි ජිවිතේ දේවල්. මගේ ඩිග්රි එක ඉවරවෙනකම් ඉමු රත්නේ මම හරි අසාවෙන් මේක කරන්නේ. මම ජිවත් වෙන්නෙ මට ඕන විදියට"

"ඉතින් ඔයා මොකද කිව්වේ ? "

"මොනවා කියන්නද, ඒගොල්ලෝ හිතන් ඉන්නේ මම වඳ ගෑනියෙක් කියල, මතකනේ ගිය අව්රුද්දෙ අශාන්ගේ වෙඩින් එක දවසේ මට ඔය දොස්තරලගේ විස්තරයි, දේවාල වල විස්තරයි වෙඩින් එක ඉවර වෙනකම් කියෙව්වේ. අම්මප මම අද එන්නෑ  ඔයාලගේ ලොකු නැන්දත් මේකට එනවා කියල කලින් දන්නවනම්.

කලින් අපේ ලොකු අම්ම, බදිනකම් එක එක කථා කිව්වා, කෙල්ලෙක් උනාම හරි වයසෙදි කසාද බදින්න ඕන, නැත්නම් මට උන දේ තමයි වෙන්නේ, එයාට බදින්න බැරි උනේ වයස ගිය නිසාලු, ආච්චිලට කිසි උවමනාවක් තිබුණේ නැතිලු එයාව බන්දල දෙන්න, අපරාදේ මගේ ස්කෝල් එකත් අතැරලා දාල මැරි කළේ, මම හිතුවේ බැන්දට පස්සෙවත් මේ කථා නවතීවි කියල, ඒපාර ඔයාලගේ ලොකු නැන්දා"

"කාටවත් ඕන විදියට අපිට ජිවත් වෙන්න බෑ ආලියා, ඔයා ඕව ගණන් ගන්න ඒපා. අපි ඔයාගේ ඩිග්රි එක ඉවර වෙනකම් ඉමු, තව සෙමිස්ටර් තුනයි නේද තියෙනෙ"

"ගණන් නොගෙන කොහොමද රත්නේ, ඔයාලගේ අම්මත් මගෙන් කීප දවසක් ඇහුව. මටනම් දැන් ඇතිවෙලා, කොහෙද ඉතින් ඔයාට මේ ලංකාවම බදාගෙන ඉන්න ඕනනේ, ඕස්ට්‍රලියාවට ගියානම් අපේ පාඩුවේ ඉන්නවා ඔය මොකෙක්වත් හම්බෙන්නෙත් නෑ"

"ගේට් එක අරින්න බබා"

ආලියා මහා හයියෙන් කාර් එකේ දොර වහගෙන බැහැල ගියා.


-------------------------------------------------------------

"මෙන්න මගෙන් පුංචිම පුංචි තෑග්ගක්"  ලොකු නැන්ද ගෙට ගොඩවෙන්නත් කලින්ම තෑග්ග රත්නපලගේ අතට දුන්නා.

"මෙහේ ලොකු නැන්දේ මේ කාමරේ, ආලියා බලන්න කව්ද ඇවිත් ඉන්නේ කියලා..."

"ආනේ ලොකු නැන්ද..., චුටිය දැන් නිදාගත්තේ නැන්දේ, ඊයේ මුලු දවසෙම ඇහැරිලා අඩනවා ඉවරයක් නෑ"

"ඔහොම තමයි දවසක් මම අපේ ලොකු පුතා අරන් ඩොක්ටර් ගාවටත් ගියා අඩනවා වැඩියි කියලා"

"මොනව හරි බීල ඉමු ලොකු නැන්දේ, අම්මේ.... මේ රත්නේලගේ ලොකු නැන්ද ඇවිත්"

සාලෙට ඇවිත් සෙටිය උඩ වාඩි උන නැන්දා මුලු සාලේම ස්කෑන් කරා"

"කෝ ආලියා ඔයාගේ ෆොටෝස්"

"මොන"

"ඇයි කොන්වකේෂන් ? "

"මට මේ පාර යන්න බැරි උනා නැන්දේ, දන්නවනේ ඉතින් බඩත් උස්සන් ලෙක්චර්ස් යන්න අමාරුනේ, ඉතුරු ටික ඊලග අව්රුද්දෙ කොම්ප්ලිට් කරනවා."

"තව ටික දවසක් යනකොට ඉතින් පොඩ්ඩට සෙල්ලම් කරන්න නංගි කෙනෙක් ගේන්න කියයි, අපේ ලොකු පුතාටත් ඔය ප්‍රශ්නේ ආව, අපේ කාලේ වගේ නෙවෙයිනේ දුව දැන්, අල්ලපු ගෙදර ඉන්නෙ කව්ද දන්නෑ. ඉස්සරනම් අපි වටේ පිටේ ගෙවල් වල යාලුවෝ එක්ක සෙල්ලම් කරා, දැන් ඉතින් ඒවා කොහෙද"

"ඒක තමයි"

"දුව කවද වෙනකම් නිවාඩුද"

"පේනවනේ නැන්ද, ඔන්න අපහු ඇහැරිලා, අම්මෝ එක්කෙනත් ඇතිවෙලා දැන්, ඒත් ආසයි ඉතින් අඩනවා අහුනම" ආලියා කාමරේට දුවගෙන ගියා.

-------------------------------------------------------------

"සිරියාවතී, බලන්න කව්ද බෙල් කරන්නේ කියලා"

"ඉන්න නෝනා, එන්න ලොකු බබා අපි යමු කව්ද ඇවිත් ඉන්නෙ බලන්න"

"අම්මා... ඔකු ආත්ති ඇවිත්"

"ආනේ ලොකු නැන්ද, හුග දවසකින්"

"එකනේ... දැන් ඉතින් දුව පාටීස් වලට එන්නෙත් නැනේ, රත්නේ පුතා විතරනේ එන්නේ  "

"කොහේ එන්නද නැන්ද, පේනවනේ යුද්දේ"

"ලේසි නෑ දුව තුන්දෙනෙක් හදන එකත්, මම දන්නවනේ දෙන්නෙක් ඉඳල විදපු දුක, වෙලාවකට හිතෙනව ගෑණු වෙලා ඉපදෙන එකත් පවක් කියල, අම්මෝ නිව්න්නු හදන එක කොහොමත් ලේසි නෑ, අපරාදේ දුව ජොබ් එකෙන් අයින් උනේ, නිවාඩු දාන්න තිබ්බේ අවරුදු පහකට, සිරියාවතී ඉන්න එක හොදයි, දූගේ අම්මටත් බෑනේ නේද දැන්, පුතාට දැම්ම වගේ නැතිව දුල දෙන්නට හොදට හොයල නම් දාන්න, දැන් අරයගෙ දුව නම් දානවනෙ"

"රස්සාව කරන ගමන් ළමයි හදන්න බෑ නැන්ද, අපි ලගම ඉදගෙන ඔක්කොම බලන්න ඕන, ලෝබයි දාල යන්න, සර්වන්ට්ලට ඕව කරන්න බෑ, මේ ඉතින් මගේ වස්තුවනේ.... ඩිග්රි එකත් අතැරලා දැම්ම නැන්ද, රස්සාවට යන්නෙත් නැති එකේ ඕව කරල මොකටද"

"මට රත්නපාල කිව්ව පැනගෙන ගියාට දැන් ඒක නවත්තල කියල, ඒගොල්ලොන්ට ඉතින් අපි ගෙදර ඉඳන් වැඩ ටික කරලා දෙනවනම් එච්චරයිනෙ"

"ලොකු නැන්ද ආව එක ලොකු දෙයක්, ඔන්න අදනම් බත් ටිකක් කාල හවස් වෙලාම යන්න ඕන, සිරියාවතී රසට උයනවා, කාලම බලන්නකෝ"






















රාවය යනරග