නයා හැඩති සරුංගලය වලාකුළු අතරින් පා වෙනවා.
"දැන්නම් එච්චර වේගයෙන් උඩ යන්න්නත් බෑ වගේ, ම්... මම මිනිත්තු 40ක් විතර උඩ හිටිය නේද, බලන්න ඕන වටේ ලස්සන, ෂා...."
වටේටම ලස්සන ලස්සන සරුංගල්, එක එක පාට , එක එක හැඩයේ ඒවා.සමහර ඒවගේ නූල් කඹ වගේ හොදට ගැට ගහල උඩ එවල තියෙන්නේ. සමහර නූල් කැඩෙන්න ඔන්න මෙන්න. සමහර ඒවා තාමත් වේගයෙන් උඩ යනවා, සමහර ඒවා හුළගට අහුවෙලා අමාරුවෙන් උඩට එනවා. සමහර ඒවගේ නූල් නෑ හරිම වේගෙන් උඩට එනවා.
"ඔහ් කවුද අර කළබලයෙන් උඩට එන්නේ, ම්.. වවුලෙක් වගේ ලස්සනට හදපු සරුංගලයක්, මිනිහ ටිකක් කලබලෙන් වගේ පා වෙන්නේ. පොඩ්ඩක් ලං කරලා බලන්න ඕන මොකද කියලා"
"ආ වවුලෝ මොකද නිකන් කලබලෙන් වගේ, උඩ ගුවනෙදී කලබල වෙලා බෑ"
"කළබල නොවී කොහොමද නයෝ, තව කොච්චරනං උඩ යන්න තියෙනවද , බලන්නකෝ උඩ අහස දිහා, කෙළවරක් නෑ මට පුළුවන් ඉක්මනට උඩට නැගල බලන්න ඕන"
"බලපන් වවුලෝ වටපිට හරිම ලස්සනයි මෙතන, ටිකක් ඉදල යමු , මමත් මේ කම්මැලි කමේ හිටියේ"
"බෑ බෑ මට වැඩි වෙලාවක් නෑ, ලැබුණ වේලාවෙන් පුළුවන් තරම් උඩට යන්න ඕන, මම යනවා" එහෙම කියපු වවුලා ආපහු උඩට යන්න හදනකොටම නයා මහා හයියෙන් අමුතු විදියට හිනා උනා.
"මොකද උබ හිනා වෙන්නේ"
"කොහොමද වවුලා උබ උඩ යන්නේ, උබේ නූල එච්චර දිග නෑ"
"අහ් ඇත්ත නේන්නම්, කොහොමද උබ ඒක එක පාරටම දැනගත්තේ ? "
"මම දැන් විනාඩි 45ක් විතර උඩට ඇවිත්, මට දැකපු ගමන් තේරෙනව, උබ කොච්චර වේලාවක්ද උඩට ඇවිත්"
"මම විනාඩි 25ක් 30ක් වගේ උනා"
"මෙච්චර ඉක්මනට උබ මෙච්චර උඩට ආවද, උබ හොද වැඩ කාරයෙක් එහෙනම්, දැන් උබ නූලට හිරවෙලා ඉන්නේ, ඉවසන් ඉඳපන් පහලින් හිමිහිට හිමිහිට තව නූල් දෙනකම්"
"බෑ බෑ මට වෙලාව මදි වෙයි, මට කොහොම හරි යන්න ඕන උඩට"
"ඒක කරන්න අමාරු වැඩක් වවුලෝ, අපිට ඕන ඕන විදියට ඒක කරන්න බෑ, ඒකට පහලින් උදව් ඕන"
"උබ දැන් ගොඩක් වෙලා උඩ හිටිය කිව්වනේ, වෙන විකල්පයක් නැද්ද උබේ ඔලුවට ආවේ"
"වෙන විකල්ප තියෙනවා එක , උබ හොකොම හරි දගලලා ඔය නූල කඩාගනින්, එහෙම නැතිනම් පහලට පණිවිඩයක් යවපන් නූල අතාරින්න කියල, එහෙමත් නැත්නම් නැමෙන සුළු, ඇදෙන සුළු (Flexible) නූලකින් ගැට ගහන්න කියපන්"
"දැන් නූල අතාරින්න කියල පණිවිඩ යවන්න වෙලාවක් නෑ මම නූල කොහොමහරි කඩාගෙන උඩට යනවා නයෝ, උබත් වරෙන් මාත් එක්ක යන්න"
එහෙම කියපු වවුලා නයාගේ නූල දිහා බැලුව. " හපොයි නයෝ උබටනම් කවදාවත් ඔය නූල කඩන්න බෑ, බලපන් ඕකේ ලොකු"
"මට මේක කඩන්න ඕන නෑ වවුලෝ"
"එහෙම කියල කොහොමද නයෝ, අපිට තව කොච්චර උඩ යන්න තියෙනවද, බලපන් මගේ නූල හරිම ලේසියි කඩන්න, මොකද ඇත්තටම ඔච්චරම මහත නූලක් ? "
"මේකනේ, මටත් ඔය වගේ එකක් තිබුණ දැන් විනාඩි 20කට විතර කලින්, එන්න එන්න එකට අලුත් නූල් එකතු වෙනවා, දන්නෙම නැතිව නූල කඹයක් වගේ වෙනවා"
"මොනවද ඔය පාට පාට නූල්, මගේනම් නූල් පොටවල් දෙකයි, එකක් අපේ අම්ම ගැට ගහපු එකක්, අනිත් එක මගේ අර.. අරය ගැට ගහපු එක, අපේ ආච්චි මම එනකොට එකක් ගැට ගහන්න හැදුව , මොකටද බං ඔය පරණ නූල්, ඒවා මහා කරදර වැඩ, හැම තැනම ගැටවලින් අමුණලා, පැටලෙනවා, මම එපා කිව්වා, ඇත්තටම මොනවද ඔච්චර ඔය තියෙන්න කඹයක් වගේ ?"
"එකක් අම්මගේ, අනිත් එක මගේ වයිෆ් ගේ, අනිත් එක ආච්චිගේ, එකක් ලොකු හාමුදුරුවන්ගේ, ඔෆිස් එකෙන්, ග්‍රාම සේවක මහත්තය, කව්රුත් මේකේ නූල් ඔතල තියෙන්නේ"
"එකනේ කියන්නේ නයෝ උබට නම් ගැලවීමක් නෑ, මට දුකයි උබ ගැන, මම නූල කඩාගෙන උඩ යනවා"
"පොඩ්ඩක් කලබල නොවී ඉඳපන් වවුලෝ, ඕක බයානක සෙල්ලමක්, උබ භෞතික විද්‍යාව දන්නවද ? "
"මොකක් "
"ඔව් වවුලෝ, වස්තුවක් නිශ්චල සමතුලිතව පැවතීමට එම වස්තුව මත සමතුලිත බලයක් තියෙන්න ඕන, අනිත් එක බලය අසමතුලිත උනොත් බල පොරොත්තු නොවූ චලිතයන් සිද්ධ වෙන්න පුළුවන්, තව එකක් කාල් මාක්ස් කියපු විදියට ද්‍රව්‍ය සංවර්ධනය වීමට ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය සහ අරගලය....හෝව් !! හෝව් !!"
නයාට කියන්න උනේ එච්චරයි නූල කඩාගත්ත වවුලා මහා හයියෙන් හූවක් කියාගෙන උඩට පාවෙන්න ගත්තා. මහා වේගෙන් උඩට යන වවුලා දිහා නයා බලාගෙන හිටියේ හරිම කණගාටුවෙන්.
විනාඩි 5ක් විතර වවුලා වලාකුළු අතරින් ඈත ඉහල අහසේ පාවෙනවා බලන් හිටපු නයා අපහු වට පිට බලන්න ගත්තා. තවත් ඒ වගේ ගොඩක් සරුංගල් කලබලෙන් උඩට එනවා, සමහරු නවතිනවා, සමහරු හෙමින් යනවා , සමහරු නූල කඩාගෙන උඩ යනවා, සමහරුන්ගේ ගැට ගහපු නූල් වල බර දරාගන්න බැරුව විනාඩි 25න් 30න් බිමට වැටෙනවා, සමහර සරුංගල් ලස්සන වෙන්න ලස්සන ලස්සන අකුරු එල්ලලා තියෙනවා, සිංහල හෝඩිය , ඉංග්‍රීසි හෝඩිය ඒවා විනාඩි 7න් 8න් බර දරාගන්න බැරිව වැටිලා කුඩුවෙලා යනවා.
"නයෝ නයෝ, මට උදව්වක් කරපං" අහල පුරුදු කටහඩක් , අහ් මේ අර උඩ ගිය වවුලා නේද
වවුලා වේගයෙන් පහලට එනවා, නයා ඌව අල්ලගන්න උත්සාහ කරත් සාර්ථක උනේ නෑ. හුළගට අහුවෙච්ච වවුලා වේගයෙන් නිශ්චිත දිශාවක් නොමැතිව වරෙක පොලව දෙසටත් තවත් වරෙක නැවත අහස දෙසටත්, තවත් වරෙක පොලවට සමන්තරවත් වේගයෙන් පා වෙනවා. ටික වෙලාවක් එහෙට මෙහාට කරනම් ගහපු වවුලා එක පාරට පොලව දෙසට හැරී පයට කිලෝ මීටර 100ක විතර වේගයෙන් යනවා නයා බලන් හිටියේ ගොඩක් කණගාටුවෙන්.
නිමි.
No comments:
Post a Comment