"අම්මා.... මගේ ෆ්රුට්ස් ඉවරයි, අප්පච්චිට එනගමන් අරන් එන්න කියන්න....".
අප්පච්චි මෝලට යන්න ලෑස්ති වෙන වෙලාව හරියටම දන්න නිපුනි කාමරේ ඇතුලෙ ඉදන් අම්මට කිව්වා. නිපුනිගේ අප්පච්චී ඒ කියන්නේ ගුණසෝම පොඩි කාලේ ඉඳන්ම කරේ වී මෝල් රස්සාව, මුලින්ම නිපුනිගේ සීය, ඒ කියන්නේ ගුණසෝමගේ තාත්තා ටව්මේ පොඩි වී මෝලක වැඩ කරා. ගුණසෝම ඉස්කෝලේ ගියේ යන්තම් හෝඩියේ පන්තියට විතරයි. අම්ම මැරුණට පස්සේ ගුණසෝම කළේ අප්පච්චි පස්සෙන් උදේ හවා වී මෝලට ආපු ගියපු එක. මුලු දවසම වී මෝලට වෙලා ගතකරපු ගුණසෝම අප්පච්චි එක්ක අපහු හවසට ගෙදර එනවා. අම්මා මැරිල අව්රුද්දක් යන්නත් කලින් ගුණසෝමගේ අප්පච්චි තවත් කසාදයක් කරගත්ත.
ගුණසෝමගේ අප්පචිගේ අත් දෙකම වී මොලේ මැෂින් එකට අහුවෙනකොට ගුනසොමට යන්තම් අවරුදු 15ක් උනා විතරයි. එදා ඉඳන් මල්ලිලා දෙන්නයි, නංගියි, පුංචි අම්මයි, තාත්තයි බලා කියා ගත්තේ ගුණසෝම. අප්පචිගෙන් පොඩිකාලේ ඉඳන් වී මෝල් සාත්තරේ ඉගෙන ගත්ත ගුණසෝමට වී මොලේ වැඩ කරගෙන යන එක අමාරුවක් උනේ නෑ. වී මොලේ මුදලාලිටත් කාත් කව්රුවත් නැති නිසා මුදලාලි ගුණසෝමට සැලකුවේ තමන්ගේම පුතෙකුට වගේ. මුදලාලි මැරුණට පස්සේ නීතියෙන් කෙසේ වෙතත් නිකන්ම වී මෝල ගුණසෝමට අයිති උනා. ගමේ උන් නම් කථාවට කියන්නේ තමන්ගේ ළමයට නැතිව ඉතිං ඕක කාට අයිති වෙන්නද කියල.
නිපුනි ඉගෙන ගන්නේ පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකේ අන්තිම අව්රුද්දෙ. හැම සති අන්තෙකම ගෙදර එන නිපුනිට අප්පච්චි නුවරින් පේරාදෙණියට කිට්ටුව වෙනම ගෙයක් අරන් දුන්නේ බෝඩිම් වල කෙල්ලව නවත්තන්න තියෙන ලෝබ කමට. අන්තිම අව්රුද්දෙ පළවෙනි සෙමිස්ටර් එක ඉවර වෙන්න ළඟ නිසා නිපුනි යාලුවෙක් එක්ක ගෙදර ඇවිත් පාඩම් කරනවා.
"වස විස නැති සුපිරි සහල්". අලුත් ටීවී කොමර්ෂල් එකට වී ගබඩාවට උඩින් ගහපු බෝර්ඩ් එක ලස්සනට දිලිසෙනවා, ඒක දිහා ආඩම්බරයෙන් වගේ බලපු ගුණසෝම ගබඩාව ඇතුලට ඇවිදගෙන ගියා.
"සිරිල්, සිරිල්, කොහෙද උබ, මොකද මේ හාල් වලට වෙලා තියෙන්නේ ? බාගෙට බාගයක් ගුල්ලෝ ගහල, පණු කැදෙලි හැදිලා, රිටර්න් ඇවිත්"
"වැස්ස වැඩියි ලොකු මහත්තය, හැම තැනින්ම පින්න ගහනවා, ගබඩාව ටිකක් වියදම් කරලා හදන්න වෙයි මහත්තය, නැත්නම් මේක නවත්වන්න බෑ"
"උඹලට ඉතින් මේක හදන්න එක තමයි ලොකු, වෙන විදියක් හිතපන්කෝ මේවා නරක් නොවී තියාගන්න"
"ඉඩත් මදි ලොකු මහත්තය, අනිත් එක අපි වී තියාගෙන ඉන්න කාලෙ වැඩියි, ගොයියොත් හොර වෙලා බාගෙට වේලන්නෙ ඒකයි මෙහෙම වෙන්නේ"
"උබ එනවද මට උගන්නන්න සිරිල්, මම මේවා කරන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි, අත දරුවා කාලේ ඉඳන් මම වී, හාල් එක්ක ඔට්ටු වෙන්නේ, අර උපාධි කාරයට කියපන් බයිලා නොගහ ගහන්න කියල අර අලුත් තෙල් ටිකක් වැඩිපුර, එතකොට ඕක අවරුදු දෙකක් උනත් තියාගත්ත හැකියි, අනෙ උගෙයි මගෙයි උපාධි"
ගබඩාවෙන් එලියට බැහැපු ගුණසෝම අපහු ජීප් එකට ගොඩ උනා.
"සිරිල්.. සිරිල්.... "
"ඇයි ලොකු මහත්තය ? "
"අර පරීක්ෂක උන්දලා අද හවස ඒවි, ආවම කෙලීන්ම එක්ක වරෙන් හෝටලේට"
"හොදයි ලොකු මහත්තය"
"ඉසුරු අපි යමන්"
"කොහෙටද සර්, හෝටලෙටද ?"
" නෑ... ගෙදර යමන්, මේ දවස් වල පුංචි නෝනා ගෙදර, වේලාසන ගෙදර යන්න ඕන, අනික ලොකු නෝනා වගේ නෙවෙයි පුංචි නෝනා, යන්තම් සුවදක් ආවත් හරියට දන්නවා දෙකක් දාල ඉන්නේ කියලා, ඊට පස්සේ කනක් ඇහෙන්න නෑ. දොස්තරලානේ බන් ඕවගේ පල විපාක දන්නවා ඇති හොදට"
වෙනද ගෙදර යන්න කලින් හෝටලේට ගිහින් විස්කි පොඩ්ඩක් හලාගන්න ගුණසෝම නිපුනි ගෙදර ඉන්න දවසට කටේ ගාන්නේවත් නෑ. නිපුනි කියන ඕන දෙයක් ගුණසෝම අහනවා. ගුණසෝමට ඕන උනේ කොහොම හරි ළමයින්ට උගන්නන්න, ගුණසෝම හැම තිස්සෙම හිතන දෙයක් තමයි කොච්චර සල්ලි බාගෙ තිබුනත් උගත් කමක් නැතිනිසා සමහර වෙලාවට මිනිස්සු ගණන් ගන්නෙ නෑ කියන එක. ඉතින් නිපුනි පව්ලට ආඩම්බරයක් ගෙනාව කියල ගුණසෝම නිපුනිට හරිම ආදරෙයි.
"සුපර් මාකෙට් එක ලගින් නවත්තපන්, පොඩි නෝනට පලතුරු ටිකක් ගන්න ඕන"
"ගුණසෝම සර් මොකද අද අවේලාවේ, තනියම, අද ගෝලයෝ නැද්ද ?" කැෂියර් එකේ ඉන්න ගැණු ළමය ගුණසෝමගෙන් ඇහුව. මුලු රටම අදුනන චරිතයක් උනත් ගුණසෝම හරිම නිහතමානී කෙනෙක් කියල තමයි සුපර් මර්කෙට් එකේ හැමෝම කියන්නේ. අවොත් ඇත්නම් විහිළුවක් තහළුවක් කරලා තමයි ගුණසෝම අපහු යන්නේ. අනික ගුණසෝමගේ හාල් තමයි සුපර් මර්කෙට් එක පිරෙන්න තියෙන්නෙ.
"ඉඳල හිටලා හරි අවෙලවෙත් වැඩ කරන්න ඕනනේ ළමයෝ. අනික මට මොකටද ගෝලයෝ, මේ අතපය හොදට තියෙන්නෙ.. දහ ගුණයක් ගණන් උනත් කමක් නෑ බයක් හැකක් නැතිව පොඩි උන්ට දෙන්න පුළුවන් දෙයක් තියෙන්නේ මේකේ විතරයි, ඔය තැන් තැන්වල කාබනික කාබනික කියල ගහල තිබුනට කව්ද දන්නෙ.. නේද ළමයො ?, අනික මේවට සහතිකත් තියෙනවනේ" පලතුරු මල්ලත් ගත්ත ගුණසෝම කඩි මුඩියේ ජීප් එකට නැග්ගේ දැනටමත් නිපුනි බලන් ඇති කියල හිතාගෙන.
=======
"ඉන්දියාවේ බැරිනම් වෙන රටකට උනත් කමක් නෑ දොස්තර මහත්තොයෝ මට මගේ දුව බේරලා දෙන්න"
"විකිරණ ප්‍රතිකාර වලට ඉන්දියාව හොදයි, අපි කොහොම හරි දුවව සනීප කරගමු, අනිත් එක මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නිසා වැඩටික හොදට වෙනවා"
=======
"ඇයි ගුණේ අපිට මෙහෙම උනේ, අපි කවදාවත් මෙයාලට ජරා කෑමක් දීල නෑ, ඉපදුන දවසේ ඉඳන් දුන්නේ කාබනික එළවලු පලතුරු, ගෙදර බිත්තියේ ගෑවේ ඊයම් නැති තීන්ත, බෝතල් කරපු වතුර විතරයි දුන්නේ. ලෙඩක් හැදෙන්න ඕන අපිට, දැන් මෙහෙම කෑව බිව්වට අපි කොච්චර කුණු ජරාව කාල ඇද්ද ඒ කාලේ, ආයේනම් මම පන්සල පළාතේ යන්නේ නෑ, කොච්චර පිං වැඩ කලත් වැඩක් නෑ"
ජීප් එකේ ඉදිරිපස අසුනේ වාඩි වෙලා ඉස්සරහ වීදුරුවට උඩින් පැද්දෙන සුදු පාට කොඩි වැල් දිහා කදුළු පිරිච්ච ඇස් වලින් බලාගෙන හිටපු ගුණසෝමට බිරිද කියපු දේවල් ඇහුනත් නැහුනා වගේ හිටියේ දෙන්න උත්තරයක් නැති නිසා.
"මොනවා හරි කියන්න ගුණේ"
"මොනවා කියන්නද මැණිකේ, අර සහතික , මේ සහතික කිව්වට කව්රුත් අපි වගේ වෙන්න ඇති මැණිකේ"
"ඒ කිව්වේ"
=============== නිමි ==================
No comments:
Post a Comment