අද 2017 පෙබරවාරි 10, නවම් පෝය (Navam Full Moon Poya)
ඉරිසියාව කියන්නෙත් අමුතු දෙයක්, හැම තිස්සෙම ඉරිසියාව කියන සංකල්පය ඔලුවට එන්නේ අපිට එළියෙන් තවත් මනුස්සයෙක් සම්බන්ධ කරගෙන. අපි සාමාන්‍යයෙන් අපිටම ඉරිසියා කරන්නේ නෑ. ඉරිසියාව කියන සංකල්පය එක්ක ගොඩක් වෙලාවට එළියෙන් සම්බන්ධ වෙන්නේ අපිට ගොඩක් හිතවත් හෝ සමීප කෙනක්. උදාහරණයක් විදියට කල්පනා කරලා බැලුවොත් අපිට ඉරිසියාව ඇති වෙච්ච අවස්ථා.
ළගම ඉන්න මිතුරා දිනෙන් දින දියුණුවට පැමිණීම (නව නිවසක් තැනීම හෝ නවීන පන්නයේ මෝටර් රථයක් මිලදී ගැනීම)
අල්ලපු ගෙදර හිතවතා නවීන පන්නයේ ගෘහ උපකරණ මිලදී ගැනීම හෝ මෝටර් රථයක් මිලදී ගැනීම
සමීපතම නෑ කෙනෙකු දිනෙන් දින දියුණුවට පැමිණීම
ලගම හිතවතෙකුගේ ළමයකු දක්ෂ ලෙස අධ්‍යාපනය හැදෑරීම හෝ ක්‍රීඩාවක නියැලීම
තව ගොඩක් අවස්ථාවන් තියෙනවා, සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපිට ඉරිසියාවක් ඇති වෙන්නේ ඉහත කී අවස්ථාවන් වලදී තමයි. මේක තනි තනි පුද්ගලයන්ගේ අව්ලක් නෙවෙයි, මේ ක්‍රමය ඇතුලේ අපිට නිතරම තරග කරන්න වෙනවා ඔය තරගයේ අතුරු ප්‍රථිපලයක් විදියට තමයි ඉරිසියාව එලියට එන්නේ.
ඔය ඉරිසියාවට ප්‍රධානම හේතුව තමයි අපි තවත් අයත් එක්ක සංසන්දනය කරන්න යන එක. ඕක අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියෙනවා, ඒක අඩු කරගන්න පුලුවන්නම් මාරම සිරා ජිවිතයක් ගෙවන්න පුළුවන්. මම කියන්නේ මම, මම මට කරගන්නා ලොකුම අපහාසය තමයි වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරගන්න එක. කිසිම මිනිස්සු දෙන්නෙක් එක වගේ වෙන්න බෑ. ඔය සංසන්දනය කිරීමේ අවසාන ප්‍රථිපලය තමයි ඉරිසියාව. කරුමේ කියන්නේ අපි හැමතිස්සෙම සංසන්දනය කරන්නේ අපේ ලගම ඉන්න හිත මිතුරන්, අසල්වැසියන් හා නෑදෑයන් සමග. ඉතින් අවසාන ප්‍රථිපලය විදියට අපි ඉරිසියා කරන්නෙත් ඔය කියපු සමීප හිතවතුන්ට.
අනිකා සමග සංසන්දනය කාලයක් තිස්සේ ඉස්සරහට ගියාම අපි දෙවිදියකට ප්‍රතිචාර දක්වනවා, එකක් අපිට අනිකා ලබාගත් දේවල් ගන්න බැරිනම් ඌට වැඩේ දෙන්නේ කොහොමද කියල හිතනවා, එක එක කථා පතුරනවා , එහෙම නැත්නම් අපි බොරුවට උන්ට වඩා උසස් කියල පෙන්නන්න හදනවා. ඒක ගොඩක් ලොකු භයානක තත්වයක්, එතකොට තමයි අතේ සතේ නැතත් හෙන ලොකු සීන් කරගෙන ඉන්න හදන්නේ, ඒක ඔලුවට පට්ට බරක්, දවසක් ගෙවාගන්න බොරු කෝටියක් කියන්න වෙනවා, හොද හොද බ්‍රෑන්ඩ් වලින් තමයි සෙල්ලම දාන්න වෙන්නේ. හිනාවෙන්නේ බොරුවට, ටික දවසකින් තමන්ගේ අනන්‍යතාවය බිංදුවට බහිනවා, මොකද මම දිගටම ට්‍රයි කරේ වෙන කෙනෙක් වෙන්න. ඕකට ඉස්සරට වඩා පහසු ක්‍රම තියෙනවා, facebook කියන්නේ ඒ වගේ එකක්. අනුන්ට තියෙන තමන්ට නැති දේවල් බොරුවට උලුප්පුවල පෙන්නන්න සහ තමන්ට තියෙන අනුන්ට නැති දේවල් වලින් අනුන් කුළුගන්වන්න facebook කියාපු තැන. ඒකත් ලෝක ආර්ථික අර්බුදය වගේ ටික ටික උඩට ගිහින් පුපුරලා යනවා. උදාහරණයක් විදියට මම කොහෙට හරි ගිහිං ෆොටෝ එකක් ගහල facebook දානවා අනිත් එකාට සල්ලි නැතත් Credit Card එකෙන් ගෙවලා කොහේ හරි ගිහින් ෆොටෝ එකක් ගහල දානවා. ඊටපස්සේ තවත් එකෙක් ඒක පරයා යන්න තවත් වැඩක් කරනවා. ඔහොම ඔහොම ගිහිං අන්තිමට එක වැලට කඩන් වැටෙනවා. ඉතින් තවත් එකෙක් ඒකට like එකක් දානවා නිකන් බොරුවට, ඉතින් like ගාන වැඩි උනාම ආතල්.
තමන් අනුන් එක්ක පුළුවන් තරම් අඩුවෙන් සංසන්දනය කරගෙන ඉන්න පුලුවන්නම් තමයි ගොඩක් හොද, එතකොට තමන්ට ඇත්තටම ආස දේවල් කරන්න පුළුවන්. අනුන් ආස දේවල් බොරුවට නොකර. රස්සාව ඇතුලෙත් එහෙමයි, තමන්ගේ යාලුවෝ කරණ දේවල් උන් ඉන්න තැන තමන් එක්ක සංසන්දනය නොකර ඉන්න පුල්වුන්නම් තමයි හොද. මොකද අපිට වෙන කෙනෙක් වෙන්න බැරි නිසා. එකෙන් කියන්නේ නෑ ජීවිතේට පරමාදර්ශ වැඩක් නෑ කියලා. පරමාදර්ශයක් අනුගමනය කරණ එකයි සංසන්දනය කරන එකයි දෙකක්.
දැන් අපි වෙන දිහාවකට හැරෙමු. ඉරිසියාවෙන් වැඩක් ගමු. වාහන 4ක් 5ක් ආරක්ෂාවට දාගෙන, සුපිරි වාහනේක නැගල පාරේ යන අපේ බදු මුදල් වලින් නඩත්තුවෙන කිසිම වැදගත් වැඩක් නොකර ඉන්න මනුස්සයෙක් දැක්කම ඉරිසියාවක් එන්නේ නෑ නේද. අපි හිතලම උන්ට ඉරිසියා කරමු. අපි මිලදී දන්නා බෙහෙත් පෙත්තෙන් පවා බදු ගහල රටට මෙලෝ වැඩක් නොකර ඉන්න උන්ට ඉරිසියා කරමු. ලගම ඉන්න යාළුවට, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයට ඉරිසියා නොකර අපි උන්ට ඉරිසියා කරමු. අස්සෙන් පස්සෙන් දාල කියක් හරි වැඩිපුර හම්බකරගන්න වේගයෙන් යන ත්‍රීවීල් වලට , අමාරුවෙන් කියක් හරි ඉතුරුකරලා bike එකක් ගත්ත උන්ට කුණුහරුපෙන් බන්නින්නේ නැතිව, පාරේ කොච්චර ට්‍රැෆික් තිබුනත් බලය පාවිච්චි කරලා අපිව පහුකරන් යන උන්ට ඉරිසියා කරමු. උන් හරියට වැඩේ කරානම් පාරේ ඔහොම ට්‍රැෆික් තියෙන්න බෑ, ත්‍රීවිල් අයියල ඔහොම යන්නේ නෑ. උන්ට වැඩේ කරන්න උවමනාවක් නෑ, මොකද උන්ට ට්‍රැෆික් අදාල නෑ. අනිත් හැම ක්‍ෂේත්‍රයකම ඔය ප්‍රශ්නේ තියෙනවා. අපි හැමතිස්සෙම ලගම ඉන්න ඒකාට ඉරිසියා කරලා හිත හදාගන්නවා.
මොකද කියන්නේ, පාට පක්ෂ, ආගම් , ජාති බේදයක් නැතිව, කට්ටියම එකතුවෙලා අසල් වැසියාට, ලගම මිතුරාට, අපේ පන්තියේ මිනිසුන්ට පදනම් විරහිතව ප්‍රේම කරණ ගමන් අපේ සල්ලි වලින් සැප විදින උන්ට ඉරිසියා කරමුද ?
තමන්ගේ මහන්සියෙන් ජිවත් වෙන අපේ අම්ම, තාත්තා අතින්, ලඟම මිතුරා අතින්, අසල්වැසියා අතින්, පෙම්වතිය/පෙම්වතා අතින් එක වරදක් උනත් තරහවෙන අපි, අපේ සල්ලි වලින් නඩත්තුවෙන එක වරදකින් කෝටි , ප්‍රකෝටි ගණන් විනාස වෙන, එක වරදකින් ජිවිත දස දහස් ගණනක් විනාස වෙන, ආණ්ඩුවේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල වල අපේ පංතියේ මිනිසුන් සමග මරාගෙන මැරෙද්දි අඳ, ගොළු , බීරන් ලෙසින් සිටිනා මේ පාලකයන් අතින් කොච්චර වැරදි උනත් තරහ වෙන්නේ නැත්තේ මොකද ? උන් විදින සැපට ඉරිසියා නොකරන්නේ ඇයි ? ඒකට එච්චර මහන්න්සි වෙන්න ඕනෙත් නෑ.
Because of jealousy you are in constant suffering; you become mean to others. And because of jealousy you start becoming phony, because you start pretending. You start pretending things that you don’t have, you start pretending things which you CAN’T have, which are not natural to you. You become more and more artificial. Imitating others, competing with others, what else can you do? If somebody has something and you don’t have it, and you don’t have a natural possibility of having it, the only way is to have some cheap substitute for it. - OSHO