Saturday, August 18, 2018

ටයරය සොහොන හා රෑ දොළහ

(මෙම කතාවේ ඉතාමත්  භයානක තොරතුරු  ඇතුලත් නැත, පොඩි දෙයටත් සංවේදී අය මෙය කියවීමෙන් වලකින්න)


"මගුලයි! මේක මෙතනම උනානේ" ටයරයේ බර බර හඬින් හා මෝටර් රථය පාරේ වම් දෙසට  ඇදීයාම නිසා ඉදිරි වම්පස රෝදයේ හුලං බැස ඇතිබව  රත්නපාලට නිශ්චිතය. වෙලාව හරියටම රැ 12යි.

හොල්මන් වලට ප්‍රසිද්ධ නාකැටිය පොදු සුසාන භුමිය අසල මෝටර් රථය අයින් කරල නතර කල රත්නපාල විදුලි පන්දමත් අතට ගෙන ඩිකියේ දොර අරිමින් බිමට බැස්සේය. රැහැයියන්ගේ හඬ මුසල හඬක්ද ප්‍රියකරු හඬක්ද යන්න සිතමින් ඔහු ඉදිරිපස දකුණු රෝදයෙන් පටන්ගෙන රථය වටා කැරකුණේ හුලං බැස ඇති රෝදය නිශ්චිත උවත් මේ අබලන් මාර්ගය අනෙක් රෝද වලට හානියක් කර නැති බවට තහවුරු කර ගැනීමටය. අශ්ව බල  540 ක් හා පැයට සැතපුම්  198 උපරිම වේගයෙන් ගමන් කල හැකි  අපුරු නවීන මෝටර් රථය ඔහු මිලදී ගත්තේ මිට වසරකට පෙරය. 

මවගේ අසනීප තත්වය දැනගත් වහාම උපන් ගම බලා ඉගිල්ලුනු රත්නපාල මේ ගමට යන්නේ හරියටම මාස 8කට පසුවය. බිරිද හා ළමයින් සමග සිංහල අව්රුද්ට ගමට යන විට ඉතාමත් හොද ශරීර සෞක්‍ය තත්වයෙන් පසුවූ මව හදිස්සියේම රෝගාතුර වූ පුවත දැනගන්ට ලැබුණේ තම පියාගෙනි.  හිත කීරි ගස්සන බල්ලකුගේ උඩු බිරුමක් සමග පිටුපසින් ඇසුණු අඩි ශබ්දයෙන් තිගැස්සුණු රත්නපාල වහා හැරී බැලීය. හද එලියට  දිලිසුනු ඒ රුව හදුනා ගැනීමට රත්නපාලට ඒ හැටි වෙලාවක් ගත නොවිය.

"සි....සි ... සි...  සියේ"

මිට වසර 25කට පෙර තමා සාමාන්‍යපෙළ හදාරණ අවදියේ නාකැටිය සුසාන භුමියේ මිහිදන් කල තම සීයාගේ රුව දැකීම රත්නපාලට අදහාගත නොහැක.

"කලබල නොවී හිටපන් කොල්ලෝ, මම මේ උබට උදව් කරන්න ආවේ."

"සීය එතකොට මේ මේ මේ එතකොට"

"හා හා මම කිව්වනේ කලබල නොවී අනවශ්‍ය ප්‍රශ්න නාහ හිටහන්, මම අවේ උබට උදව් කරන්න"

"කෝ දීපන් ඕක මට රෝදේ ඇණ බුරුල් කරන්න. ගනින් ජැක් එකයි , ඉස්පෙයර් විල් එකයි එලියට, ඉතින් ඉතින් කියහන්කෝ උබේ විස්තර, තාම බැදලා නැතෙයි."

රත්නපාල මේ දකින්නේ හීනයක්ද හැබවක්ද සිතාගත නොහැකිව මද වේලාවක් සිට කටහඩ අවදි කළේය.

"නැත්තේ මොකද සීයේ ළමයි දෙන්නෙක් ඉන්නව,  අම්මට අසනීපයි කිව්ව නිසා හදිසියේම අවේ. තාත්ත විශ්‍රාම ගියාට පස්සේ ඒ ගොල්ලෝ ආපහු ගමට ආව, සීයල හිටපු මහරගම මහ ඉඩමෙම පරණ ගේ තියෙද්දී මම අලුත් ගෙයක් හැදුව. වැඩ කරන්නේ කොටුවේ කන්තෝරුවක. නෝනා ජාතික රෝහලේ වැඩ කරන්නේ."

"හ්ම් කියහන්කෝ රටේ තොටේ විස්තර ටිකකුත්, අහන්නත් අසයි බන් අලුත් දේවල්"

"දැන් ලෝකේ සීයාගේ කාලෙට වඩා සැහෙන්න වෙනස්, පුදුම හිතෙන දියුණුවක්, බලන්න මේ කාර් වේගය පැයට කිලෝමීටර් 320, මේ ෆෝන්, දැන් හිතුනොත් ලෝකේ ඉන්න ඕන කෙනෙකුට දැන් කථාරන්න පුළුවන්. ෆ්‍රිජ්, වොෂින් මැෂින්, රයිස් කුකර්. සීය දන්නේ නෑ ඕව."

"එහෙනම් උබ මේ හිතුන මේ ගමේ එනවා ඇති"

"පිස්සුද සීයේ, කොහේද එහෙම එන්න වෙලාවක් හැමදාම එක්කෝ මට වැඩ නැත්නම් නෝනට වැඩ නැත්නම් පොඩි උන්ට ඉස්කෝලේ ,පන්ති"

"අහ් , නාවත් මොකද හැමදාම ෆෝන් එකෙන් අම්මල සම්බන්ද කරගන්න පුළුවන් ඇතිනේ." ඇණ හතර බුරුල් කල සීයා ජැක් එක දෙන්න යැයි අතින් සංඥාවක් කරමින් ඇසුවේය.

"ඔව් සතියකට දෙකකට සැරයක් කතා කරනවා "

"හ්ම්, උබේ වාහනේ හැටියට උබට විනාඩි පහෙන් ඔෆිස් යන්න පුළුවන් ඇති නේද"

"පහෙන්, අඩුම පැයක්වත් යනවා. පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ"

සීයාට හීන් දාඩිය දමා ඇත. හොල්මනක් දිහා බලනා ලෙසින් බියපත් ඇසින් යුතුව රත්නපාල දිහා බැලූ සීයා රෝදය  ගලවා මෝටර් රථය යටට රිංගවා  ඉස්පෙයර් විල් එක අතට ගත්තේය.

"උබ පයින්ද බොල යන්නේ, මම ඒ කාලේ විනාඩි 15න් බයිසිකලේ පැදන් යනවනේ බොල, ඒ මක්ක වෙතත් ඉතින් දැන් ලෝකේ දියුණු නිසා උබට වෙලාව ඉතිරි ඇති නේද පොතක් පතක් බලල බයිස්කෝප් එකක් එහෙම බලන්න"  රෝදයේ ඇණ තද කරන ගමන් සීයා ඇසීය.

"ෆිල්ම් එකක් බලන්න තරම් එච්චර එක දිගට වෙලාවක් සෙට් වෙන්නෙ නෑ සීයේ, පොත් කියවන එක පරණ ක්‍රමයක්, දැනුම පොඩි පොඩි පේලි දෙක තුනට කඩල හුවමාරු කරගන්න එක තමයි දැන් ක්‍රමේ."

ටලන් ටලන් ටලන් 

අතේ තිබුණු රෝද ඇණ තදකරන යතුර පැත්තකට විසිවිය, සීයා සිහිසුන්ව පාර අය්නේ බැද්දට විසිවී ඇත. කළබල වූ රත්නපාල වහ වහා ජැක් එක ගලවා ඩිකියට දමා වේගයෙන් මවගේ නිවස බලා පිටත් විය. 

සිදුවූ සිද්දිය කිසිවකුටත් නොකියා සිටීමට රත්නපාල පරිස්සම් විය.

                                                                නිමි 

රාවය යනරග