Saturday, November 30, 2019

ඕනෑම උත්තරයකට ප්‍රශ්නයක් ඇත

ඔව්හු ,

සමාජ ආරක්ශනය නැතිකොට රක්ෂණ විකුනන්නේය.

මහපොලවෙන් එන ජලය දූශනය කර  වතුර විකුනන්නේය.

මිනිසුන් ඈත් කර සමාජ ජාලා විකුනන්නේය.

මිනිසුන් ඈත් කර සිම් විකුනන්නේය.

මිලදීගත නොහැකි භාන්ඩ නිපදවා ක්‍රෙඩිට් කාඩ් විකුනන්නේය.

මිලදීගත නොහැකි කාර් නිපදවා ලීසිං විකුනන්නේය.

මිලදීගත නොහැකි ගෙවල් නිපදවා ණය විකුනන්නේය..

සෙල්ලම් කල වෙලාව කොල්ල කා එක තැන පදින බයිසිකල් විකුනන්නේය...

සෙල්ලම් කල වෙලාව කොල්ල කා ශුගර් මැශින් විකුනන්නේය..

සෙල්ලම් කල වෙලාව කොල්ල කා බෙහෙත් විකුනන්නේය...

නිදහසේ සිටි වේලාව කොල්ල කා වොශින් මැශින්, ෆ්‍රිජ් විකුනන්නේය..

නිදහසේ සිටි වේලාව කොල්ල කා අධිවේගී මාර්ගවල ටිකක් විකුනන්නේය..

වස දැමූ ආහාර විකුනා බියවද්දා කාභනික ආහාර විකුනන්නේය...

බය විකුනා ජීවිත රක්ෂණ විකුනන්නේය...

පුහුනු ශ්‍රමිකයන් නිර්මාණය කිරීමට අධ්‍යාපනය විකුනන්නේය...

දුප්පත්කම කිරි වීදුරුවකින් වසා චන්ද විකුනන්නේය..

වැපිරූ ජාතිවාදය ජාතික ආරක්ශාවෙන් වසා චන්ද විකුනන්නේය..

පරිසරය වනසා පරිසර හිතකාරී බෑග්ස් විකුනන්නේය..

අවසානයේදී පරිසරය වනසා ඔක්සිජන් විකුනන්නේය

දියුණු උපකරණ
දියුණු තාක්ෂණය
කෘතිම බුද්දිය

අයෙක් එයට තාක්ෂණයේ දියුණුව කියයි
අයෙක් එයට තරගකාරීත්වය නිසා අප ලැබූ ජයග්‍රහණයන් කියයි
අයෙක් එයට සංවර්ධනය කියයි

Sunday, June 23, 2019

ඒත් අපි එක පංතියේ

ලමයි දෙන්න වැල්ලෙ සෙල්ලම් කරන්න දාපු රත්නෙයි ආලියයි වෙරළ අයිනෙ තිබුන ගලක් උඩින් වාඩි උනා.

"රත්නේ පොඩ්ඩක් ඇහගහගෙන ඉන්න දන්නෙම නැතිව කොල්ලො දෙන්න මුහුදට යාවි"

එහෙම කියපු ආලියා රත්නපාල දිහාවට හැරුන.

"ගෙදර වැඩයි, ඔෆිස් එකේ වැඩයි මේ ලමයින්ගේ වැඩයි ඔක්කොම කරන්න බෑ රත්නෙ. දැන්නම් මගේ සීමාව පැනල තියෙන්නෙ".

"ඉතිං මොකද කරන්නෙ"

"වෙලාවකට හිතෙනව මේ රස්සාවෙන් අයින් වෙන්න"

"අස් වෙලා කොහොමද ? කොල්ලො දෙන්න ඉන්ටර්නැෂනල් දානකොටම මම කිව්වනෙ මගේ පඩියෙන් කරන්න බෑ කියල."

"හ්ම්"

"අනික ඔයාමනෙ කාර් එක අප්ග්‍රේඩ් කරන්න කියල කෑ ගැහුවෙ."

"හ්ම්, ඒවත් ඕනනෙ රත්නෙ, මතකද ගියපාර ට්‍රිප් එක ගිහින් උන දේ. අනිත් අයගේ වාහන අස්සෙ අපේ එක නවත්තල කොච්චර බයිට් උනාද"

"ඇයි ඔයාට කවුරුත් මොනවත් කිව්වද?"

"මොනවත් කිව්වෙ නැති උනාට බැලූ බැල්මට පේනවනේ අපේ එක පරණයි කියල, අනිත් එකෙ ඔයාගේ තත්වෙට ගැලපෙන්නෙ නෑ ඒ පරණ කාර් එක"

"මමත් උදෙන් නැගිටල ඔයාට උදව් කරන්නම්"

"රෑ දොලහට නිදාගන්න ඔයාගෙන් උදව් ගන්නෙ කොහොමද, ඔෆිස් එක ඔෆිස් එක, ඒකනෙ ඔයාට ලොකු, මම කියන්නද අපි ගෙදරට වැඩට කෙනෙක් ගමු. අපේ ගමෙන් කෙනෙක් හොයාගන්න පුලුවන්, මම අපේ මල්ලිට කියන්නද ?"

"කීයක් ගෙවන්නද ? අනික සර්වන්ට් රූම් එකේ වැඩ  ඉවරත් නෑ"

"රත්නේ අන්න කොල්ලො දෙන්න මුහුද පැත්තට පෙරලෙනව"

------
"පාලිත, මම කොළඹ යනව" ලොකු වෙලාවක් කල්පනාවෙ ඉදපු සුද්දි කතාවක් පටන්ගත්ත

"කොළඹ මේ හදිසියේම, මොකද ?"

"මොකද කියන්නෙ... තමුසෙට හරි හමන් රස්සාවකුත්  නෑ ලමයි හැදුවනම් උන්ට කන්න උගන්නන්න ඕන, අපරාදෙ මමත් අහු උනානෙ තමුසෙට, හරියට ඒලෙවෙල් කරානම් මමත් දැන් ලොකු රස්සාවක් කරනව, එහෙනම් හොදට පව්ල් කනව, මේ පොඩි උන් එක්ක සන්තෝසෙන් ඉන්නව"

 "හරි හරි, මම තමුසෙට තිබ්බ ආදරේටනේ උස්සන් ආවේ, මොකෝ මම බලෙන් ගෙනාවයි, දැන් තමුසෙ කොහේද යන්නෙ. මොකටද කොළඹ යන්නෙ"

"කොළඹ නෝන කෙනෙකුගේ ගෙදර වැඩට, වැඩි වැඩක් නෑ පොඩි දෙන්න බලාගෙන කන්න උයන්න තියෙන්නෙ, මේ අව් කාට්ටකේ වැඩ කරනවට වඩා හොදයි ගෙයක් ඇතුලට වෙලා වැඩක් කරල කීයක් හරි හොයාගන්න එක"

"එතකොට ලමයි"

"ඇයි තමුසෙ"

"මට කෙල්ලො දෙන්නක් බලාගන්න පුලුවන්ද"

"බය වෙන්න එපා මම අම්මට කිව්ව අම්ම ඒවි මෙහේ නවතින්න, තමුසෙ ඒ මනුස්සයට කෑ කෝ නොගහ හිටියනම් ඇති"

"එතකොට තමුසෙග ලෙඩ ගානේ ඉන්න මහලොකු තාත්තත් මෙහේ එනවද"

"තමුසෙ බය නොවී ඉන්නව,තාත්තට නංගි කෑම දෙයි"

-----------------
"දූල දෙන්න ආච්චි කියන දේවල් අහගෙන ආච්චිට කරදර නොකර ඉන්න හොදේ, ආච්චිට වයසයි නේ.."

"එතකොට මට ඉස්කෝලෙ වැඩ කියල දෙන්නෙ කව්ද අම්මේ, අනේ අම්මේ යන්න එපා"

"මම මේ රට යනව නෙවෙයි නේ කොළඹ යන්නෙ ඉක්මනට එනව, එනකොට අලුත් ඇදුම් අරන්න එන්නම්"

"අනේ යන්න එපා අම්මේ"

සුද්දිගේ ඇස් වලට ආපු කදුලු හංගගෙන සුද්දි  ඉක්මනට ගිහින් රත්නපාල මහත්තයයි, ආලියා නෝනයි ආපු කාර් එකට නැග්ග

"පුදුම අම්මල", සුද්දිගේ අම්ම කෙල්ලො දෙන්නගෙ අතින් අල්ලං  තමන්ටන කියගන්න ගමන් ගේ ඇතුලට ගියා.


                              නිමි

Monday, June 3, 2019

සාම-අමර-නයනි-කමල් එන්න අපි මේකට ඇක්ටිව් වෙමු



ඔව්න් නිදහස් අධ්‍යාපනය කප්පාදු කළෝය
අපි නිහඬ විය 
ඔව්න් නිදහස් සෞඛ්‍ය කප්පාදු කළෝය
අපි නිහඬ විය 
බස්වල එල්ලී යන අපි දිහා ඔව්න් නොබලුවෝය
අපි නිහඬ විය 
මාර්ග තදබදයෙන් තෙරපෙන විට ඔව්න් වේගයෙන් ගියෝය
අපි නිහඬ විය 
වකුගඩු රෝගයෙන් දහස් ගණන් මියයද්දී ඔව්න් නොබලුවෝය
අපි නිහඬ විය 
ඔව්න් බදු පිට බදු ගැසුවෝය
අපි නිහඬ විය 
දරුවාට පාසැලක් නැතිවිට අපි දිහා ඔව්න් නොබලුවෝය
අපි නිහඬ විය 
ඔව්න් මුල්‍ය වංචා කලෝය
අපි නිහඬ විය 
සෑම තැනකදීම ඔව්න් මග ඇරියෝය
අපි නිහඬ විය 
මේ පාරත් සුපුරුදු පරිදි ඔව්න් මග ඇරියෝය
නමුත් අපි ඇක්ටිව් වීමු 
සාම-අමර-නයනි-කමල් එන්න අපි මේකට ඇක්ටිව් වෙමු 
ඔව්න් අළු යටින් එලියට විත් 
මේ දිවයින ට,  මේ දෙරණ ට, මේ මව්බිම ට, මේ ස්වර්ණ භූමියට  
හිරු පායා එන්නාක් සේ ඩී-ඇක්ටිවේට් වෙන්න ඕන දවස කියාවි
එතකම් ඇකිටිව් වෙමු 

Wednesday, April 10, 2019

කඩුපුල්


චර්ජ් කරපු ටෝච් එක අතට ගත්ත ආලියා කෙලින්ම ආවේ ටීවී එක ලගට. ටීවී එකේ ස්විච් එක බිත්තියෙන් ඕෆ් කරපු ඇය කරන්ටෙක කපපු ගමන් පුරුද්දක් විදියට ඊලගට කරන්නෙ ඉස්සරහ දොර වහන එක. ඔෆිස් එකේ යාලුවෙකුගේ ගෙදරට හොරු ඇවිත් තියෙන්නෙ කරන්ටෙක කපනවත් එක්කම කියල ඇහුවට පස්සෙ පොඩ්ඩක් බය වෙලා.

දොර වහන්න ආපු ආලියා දැක්කෙ කාර් එක ඇතුලට වෙලා ඉන්න රත්නෙව.

"රත්නේහ් මොකද මේ කාර් එකට වෙලා කරන්නෙ ?"

"මගේ ෆෝන් එක ඕෆ් වෙලා බබා. කාර් චාගර් එකට ෆෝන් එක ගැහුව. තව පොඩ්ඩකින් ඉම්පෝටන්ට් කෝල්ස් ටිකක් ගන්න තියෙනව"

"ඔයාට පිස්සුද නිකන් පෙට්‍රල් පුච්චන්නේ පැයක් ඉන්න බෑනේ ඔය මගුල නැතිව."

එහෙම කියපු ආලියා ආපහු ගේ ඇතුලට යන්න හැරුන.

"ගේ ඇතුලටත් එලියයි නේ. ඔයාටත් හොදයිනෙ ගේ වැඩ ටික කරගන්න, ඔය ඉස්සර ජනේලෙ රෙද්ද අකුලන්න එතකොට ගේ ඇතුලට හොදට එලිය එනව" එහෙම කියපු රත්නෙ කාර් එකේ හෙඩ් ලයිට් ඔන් කරා.

"රත්නෙ වැඩකුත් නෑනේ, අපි යමුද අම්මලාගේ දිහා. කාලෙකින් යන්න බැරි උනානේ. කරන්ටෙක ආවම ආපහු එමු. වලං පිගං හෝදන්න හරියට පේන්නෙ නෑ. මම හෙට උදේට උයන දේවල් ඔක්කොම කරන්ටෙක යන්න කලින් ලෑස්ති කලා"

"යමු එහෙනම්" රත්නපාල ශනිකව උත්තර දුන්න.

යන්තම් චාර්ග් උනු ෆෝන් එකත් ගලවගත්ත රත්නපාල වහනෙන් බැස්ස.

මුලු ගමම කරුවලයි. ගෙවල් දෙක තුනකට එහා ගෙදර බල්ල නොනැවතීම බුරනව. ආලියා ගේ ඉස්සරහ දොරකඩට වෙලා රත්නෙ එනකම් බලන් ඉන්නව. පාරේ යන වාහන වලින් වරින් වර එන එලියන් ආලියාගේ මූනේ මල් පිපෙනව වගේ රත්නෙට පෙනුනෙ. ආලියාගේ පෙනුම ගොඩක් වෙනස්වෙලා කියල රත්නෙට හිතුන. උලුවස්සට හේත්තු වෙලා හිටිය ආලියා ගේ ඇතුලට හැරෙන කොටම එක පාරට පැනපු රත්නපාල ආලියාගේ අතින් අල්ල ගත්ත.

"අම්මෝ මම ගැස්සිලා ගියා. මොකද මේ"

"අම්මලාගෙ දිහා යන්නම ඕනද ?"  ආලියාගේ කනට කරල අහපු රත්නපාල අතේ තිබුන ෆෝන් එක දොර ගාව තිබුනු මල පෝච්චිය උඩින් තියල දොර වැහුව.

රාවය යනරග