මේකත් පරණ කතාවක්, පුසෝ ගැන ලිව්වම බල්ලෝ තරහවෙන නිසා බල්ලෙක්ගෙ කතවක් ලියන්න හිතුන.
ඔන්න එක්තරා රටක් තිබුණ. මේ රටේ අගනුවර කොළඹ. කොළඹ තමයි රටේ ආර්ථිකය, සංස්කෘතිය,කලාව වගේ හැම දෙයකම කේන්ද්‍රස්ථානය උනේ. මිට අමතරව කොළඹ තව දේවල් වලට ප්‍රසිද්ධ උනා, ඒ තමයි කොළඹ කාක්කෝ , කොළඹ බල්ලෝ වගේ දේවල්. රටේ අනිත් පළාත්වල බල්ලන්ට, කපුටන්ට වඩා මේ කොළඹ බල්ලොන්ට,කපුටන්ට බලු සමාජයේ සහ කපුටු සමාජයේ හොඳ පිළිගැනීමක් තැනක් ලැබුණ. ඉතින් දුර පළාත්වල ඉන්න බල්ලෝ නිතරම උත්සහ කළේ කොළඹ බල්ලෙක් වෙන්න. හැබැයි උන්ට කොළඹට එන එක ලේසි උනේ නෑ. මොකද දුරු කතර ගෙවාගෙන කොළඹට පයන් එන්න්න ඕන, බල්ලන්ට වාහන නෑනේ. එහෙමත් බල්ලෙක් තමයි කොළඹට ආවෙ ගියේ, ඔන්න අනුරාධ පුර පැත්තේ බලු රංචුවක හිටියා හොඳට හැදුනු වැඩුණු බල්ලෙක්, හැබයි මූට කිසි උවමනාවක් නෑ කොළඹට එන්න, එත් බලු රංචුවේ බලු යාලුවෝ ලොකු උත්සායක් දරණව මූ කොළඹට එවන්න. මොකද කොළඹ තමන්ගේ හිතවත් බල්ලෙක් ඉන්න එකත් අනිත් බල්ලන්ට ලොකු ආඩම්බරයක් නිසා. ඉතින් මේ බල්ලෝ රංචුව කොහොමහරි අර බල්ලට ශිෂ්‍යත්වයක් එහෙම සෙට් කරලා මේ බල්ලව බලෙන් වගේ කැමති කරව ගත්ත කොළඹට දුවන්න. ඉතින් ඔන්න බල්ලා කොළඹ දුවන්න පටන්ගන්න දවසත් ආව, ගමේ බල්ලෝ ටික කොළඹ ඉන්න යාලුවන්ට ලියුමක් යැව්වා අපේ ගමෙන් තව බල්ලෙක් කොළඹ එනවාය, ඌට කොළඹට එන්න මාසයක්වත් යාවිය, එනකොට හොදට පිලිගනින්ය කියල. මෙන්න බොලේ කොළඹ යාළුවන්ට ලියුම හම්බෙලා දවස් හතරකින් , ඒ කියන්නේ අර බල්ලා ගමෙන් පිටවෙලා හරියටම සතියකින් කොළඹට ඇවිත්. කොළඹ බල්ලන්ට හරිම පුදුමයි මුගේ හැකියාව දැකල. කොළඹ බල්ලො ටික මුව හරසරින් පිළිගෙන, මූව වටකරගෙන ඇහුවලු දැන් කියපන් බලන්න උඹේ දියුණුවේ රහස කියලා. එතකොට අර ගමෙන් ආපු බල්ලා මාසෙක ගමන සතියෙන් ආපු ආකාරය පැහැදිලි කරාලු මෙහෙම.
"මම ගමෙන් පිටවෙලා, මගේ යාලුවන්ගෙන් වෙන් වෙලා ටික දුරක් එනකොට ඒ ගමේ අනිත් බල්ලෝ ටික මගේ පස්සෙන් පැන්නුවා, මට නවතින්න හති අරින්න වෙලාවක් තිබුනේ නෑ, ඉතින් කොහොම හරි මම ඒ ගමේ සීමාව පැන ගත්ත, මොකද බල්ලො තමන්ගේ සිමාවෙන් එහාට එන්නේ නැනේ, පොඩ්ඩක් ගිමන් හරින්න හදනකොටම මෙන්න අළුත් ගමේ වෙන බල්ලො සෙට් එකක් අයෙත් මගේ පස්සේ පන්නන්න ගත්ත කොහොම හරි ඒ ගමෙනුත් පැන ගත්ත, එකෙනුත් වැඩක් උනේ නෑ , යන යන ගමේ බල්ලෝ සෙට් මගේ පස්සේ පැන්නුව, මට විවේකයක් ගන්න වෙලාවක් ලැබුනේ නෑ , එකයි මම මෙච්චර ඉක්මනට කොළඹට අවේ"
මෙහම කියපු බල්ලා දඩාන් ගාල මැරිලා වැටුණ මහන්සිය දරාගන්න බැරිව.
වෙලාවකට හිතෙනවා අපිත් ඒ බල්ල වගේ නේද කියල, හති අරින්නවත් වෙලාවක් නෑ, දුවනවා.. දුවනවා... දුවනවා, අපිට දුවන්න උවමනාවකුත් නෑ,හරියට අර බල්ලාගේ වටේ පිටේ ඉන්න බල්ලෝ අර බල්ලට දුවපන් කිව්වා වගේ අපේ වටේ ඉන්න උන් අපටත් දුවපන් කියනවා, කව්රුවත් කියන්නෙ නෑ හරියටම දුවන්න ඕනේ කොහෙද කියල, ඔහේ දුවපන් කියනව, එක වසරේදීම අහනවා පුතා ලොකු උනාම දුවන්නේ කොහෙටද කියල,අපිත් ලොකු ලොකු කථා කියනවා, ගුරුතුමාත් ෂා හොඳ පුතා කියනව, අනේ ඉතින් අපිත් බල්ලෝ වගේ දුවනව, හැබැයි දුවන්න පටන්ගත්තොත් නවතින්නත් බෑ, මොකද අනිත් බල්ලෝ පස්සෙන් පන්නනවනේ. එහෙමත් හිත හයිය එකෙක් තමයි ඕන මගුලක් කියල නවතින්නේ, නැවතුනාම අර පස්සෙන් පන්නපු බල්ලෝ පොඩ්ඩක් බුරල , නැට්ටෙන් ගහල වෙන බල්ලෙක් පස්සෙන් දුවනව, මොකද උන්ටත් පන්නන්න ඕනෑතරම් බල්ලෝ ඉන්නව.
අර කොළඹ දුවපු බල්ලට මැරෙන්න මොහොතකට කලින් හරි ඇයි ඌ දිව්වේ කියල නොතේරුණත්, දුවන්න හේතු උන උගේ කතාව කියන්න වෙලාවක් තිබුණ. අපිට අපේ කථාවවත් කියන්න වෙලාවක් තියේවිද ?
(කථාව කටින් කට අපු නිසා මුල් කථාව ගැන අදහසක් කතුවරයාට නැත, මුල් කථාවට හානියක් ඌවානම් සමාවී මුල් කථාව කොමෙන්ට් එකක් ලෙස එවන්න)
This comment has been removed by the author.
ReplyDeleteඑත් කොළබ බල්ලෝ ගමේ බල්ලන්ට ලියුමක් දැම්මේ නෑලු අර අහිංසකයට වුන සිද්ධිය කියල..
ReplyDeleteඉතින් තාමත් ගමේ බල්ලෝ කොළබ දුවනව ලු...