Tuesday, November 7, 2017

පුපුරණ මනසේ කකියන පැතුමයි, ප්‍රේමයේ සුවද නොවේ



පරීක්ෂණාගාරය සුදානම්, සියළුම අමුද්‍රව්‍ය , බඳුන් අටවා අවසන්.
පන්ති නායකයා , ප්‍රධාන ශිෂ්‍ය නායකයා , උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා, අංශ භාර ගුරුතුමා , පරීක්ෂණාගාර සහායක තුමා , උපදේශක තුමා, හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා, පාසලේ සාහිත්‍ය සංගමේ සභාපති, ලේකම් , මෙකී නොකී සියලුම ප්‍රධාන පෙලේ චරිත පරීක්ෂණාගාර බඳුන් වටා එක්වෙලා. පන්තියේ ළමයි ටික වෙනම පැත්තක වාඩි වෙලා. පරීක්ෂණාගාරයෙන් එළියේ පුදුම සෙනගක්, දැල් වලින් එල්ලිලා බලන් ඉන්නව පරීක්ෂණය කරනකම්. පන්ති නායකයා ඉතා නිශ්ෂබ්ධව නැගිටල ගිහින්  ඉතා ලස්සන බේරුන්ඩ පක්ෂියාගේ රුපයක් පරීක්ෂණාගාර බිත්ත්යේ එල්ලුවා.

ඔන්න විදුහල් පති තුමා නැගිට්ට

"දැන් මේ පරීක්ෂණේ කී පාරක් කරද ? මේ පාර හරි ගියේ නැතොත් මොකද කරන්නේ. මේ පාරත් හරියන්නේ නැතිනම් මම මේක වෙන පන්තියකට බාරදෙනවා"

"නෑ සර් මට විශ්වාසයි මේ පාර මේක හරියටම හරි" පන්ති නායකයා එසේ කියන ගමන් තමා සුළු මොහොතකට පෙර  බිත්තියේ එල්ලූ බේරුන්ඩ පක්ෂියා දිහා බැලුවේ හරිම ආඩම්බරයෙන්.

"හරි දැන් පටන්ගමු" ඒ විදුහල් පති තුමාගේ විධානය

පරීක්ෂණාගරය කඩි  ගුලක් වගේ, පරීක්ෂණාගාර සහායක තුමා , උපදේශක තුමා එහෙට මෙහෙට දුවනවා.

"හරි නිමල් එන්න ඉස්සෙල්ලම, මේ බීකරයට දාන්න වතුර ලීටර් 0.25ක්"

"ආ හරි ස...ර්"

"සිරිල් කොහේද ඔය බලාගෙන ඉන්නේ, මෙන්න මෙහෙ එනවා දානවා මේකට පිරිසිදු මධ්‍යසාර මිලි ලීටර 25ක්"

"ඒ බන් ලැබ් එකේ අරක්කු තියෙනවද ?" ඒ සද්දෙ අවේ පරීක්ෂණාගාරට එළියෙන්.

"ආ හරි ස...ර්"

"නිහාල් කවුද ඊළගට ?" උපදේශක තුමා පන්ති නායක නිහල්ගෙන් අහනවා.

"ඊළගට මෙයා හොදයි"

විනාඩි කිහිපයක්  ඔය විදියට වැඩේ ගියා.

"මටනම් පෙන්නේ නෑ මේ යන විදියට පරීක්ෂණය සාර්ථක වෙයි කියල"

"මම කිව්වේ මම කිව්වේ ඕක හරියන්නේ නෑ කියලා"

විදුහල්පති තුමා මුලු ශාලාවම උඩයන්න විලාප තියනවා.

"දැන් කොතනද වැරදුනේ"

නිමල් "මට හිතන්නේ සර් අපි පරීක්ෂණ නලය රත් කරා වැඩියි"

සිරිල් "නෑ සර් මේකට වතුර වැඩි උනා"

නිහාල් "නෑ සර් මද්‍යසාර වලින් අව්ල අවේ"

"නෑ සර් මුන්ට පලපුරුද්ද මදි" බැරිම තැන හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා කටහඩ අවදි කළා

"හරි අපි මෙහෙම කරමු. පන්ති නායක කම නිමල්ට දෙමු, උපදේශක තුමා ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න, ඔයාට පුලුවන්ද පුතා තාවකාලිකව මේ වැඩේ බලන්න" විදුහල් පතිතුමා පරීක්ෂණාගරයෙන් එළියේ හිටපු ආදී ශිෂ්‍ය අයිය කෙනෙකුට කථා කරා.

"හරි අපි අපහු වැඩේ කරමු. නිහාල් පැත්තකට වෙන්න, සුනිල්, කමල් අයින් වෙන්න"

"ආ.. ඔය පුතාල එන්න මෙතෙන්ට"

"නිමල් වැඩේ පටන්ගමු"

"ම්.... මේකට  වතුර කෝප්ප 3ක් දාන්න"

"මද්‍යසාර එපා, ඒ වෙනුවට සෝඩියම් ක්ලෝරයිඩ් කැට ගිනිපෙට්ටි පියන් භාගයක් දාන්න"

"පරීක්ෂණ නලේ රියන් භාගක් ජලයෙන් පුරවල , ඒක උඩට පොටෑසියම් ක්රෝමේට් පොඩ්ඩක් වක්කරන්න"

"ඒකත් කෑවා නේද" විදුහල් පතිතුමට හොදටම කේන්තියි.


"හරි දැන් ඔය කව්රුත් ගෙදර යන්න. මොනවා කරත්  පරීක්ෂණය වරදිනවා, මට තේරෙන්නේ නෑ මොකද කරන්න ඕන කියල, හරි ඔය ප්‍රධාන පෙලේ කට්ටිය ඉදල අනිත් ඔක්කොම මෙතනින් යන්න"




විදුහල් පති තුමා වට මේස සාකච්චාවක් ආරම්භ කලා. ඒ අතර ජංගම දුරකථනය අතට ගත්ත විදුහල් පති තුමා

"හලෝ අපේ සයන්ස් සර්ද ? පොඩ්ඩක් එන්න පුලුවන්ද ලැබ් එක පැත්තේ ?"

"ආ එන්න එන්න සයන්ස් සර්"


පරීක්ෂණාගරය ඇතුලට ආපු සයන්ස් සර් මහ අමුතු විදියට පරීක්ෂණාගරය දිහාත්,බිත්ත්යේ එල්ලපු රූපේ දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්

"මොකක්ද විදුහල් පතිතුමා මේ ගඳ ?"

"දැන්නැද්ද ඉතින් පරීක්ෂණ කරනකොට පොඩි පොඩි  ගදවල් එනවනේ"

"හොද පොඩි, ඒකට කමක් නෑ, මොකටද මට එන්න කිව්වේ"

"යකෝ මුගේ ලොකු එක" විදුහල් පතිතුමා හිතයටින් කියනගම් පොඩි හිනාවක් දාල

"මෙන්න මේ පරීක්ෂණය කරගන්න අමරුය් මේ පොඩි ළමයි ටිකට පොඩි උදව්වක් ඕන"

"හරි, දැන් පරීක්ෂණය කී පාරක් කරාද , ස්ටෙප්ස් මොනවද ? "

සයන්ස් සර් පොයින්ට් එකට වැඩේ දෙන්න හදන්නේ

"නිමල් මොනවද අපි කරේ" පන්තිය බාර සර් පළවෙනි පාරට කටහඩ අවදි කළා.

"මම කරේ 3න් පාරයි සර්, ඒ ටික මම ලියාගෙන ඉන්නේ, කලින් කලේ නිහලයනේ, එයාට එන්න කියන්නද ? "

"නෑ ඕනේ නෑ , තමුසේ කරපුව මට කියනවා"  සයන්ස් සර්  හරි සැරයි වගේ, නෑ මිනිහ සබ්ජෙක්ට් එක දන්නවා

නිමල් පරීක්ෂණ කරපු ආකාරය සයන්ස් සර් ඉස්ස‍ර වමාරන්න ගත්ත.

"ම් නිමල් දන්නවද කොතනද වැරදුනේ කියලා"

"ඔව් සර්, මේ උපකරණ , ලැබ් එක හරියට නෑ, සම්මත තත්වයන් නෑ මේකේ"

"කව්රුත් හොදට අහගන්න, පරීක්ෂණයක් කරණකොට මුලික සිද්ධාන්ත කිහිපක් තියෙනවා, "පාලිත පරීක්‌ෂණ", "පාලිත කාණ්‌ඩය" හා "පාලිත ඇටවුම" තමුසෙලා ඒක දන්නවද ? "

පරීක්ෂණාගරය මීයට පිම්බ වගේ.
"එක් වරකට වෙනස් කලයුත්තේ එක් සාධකයක්‌ හෝ විචල්‍යයක්‌ (Factor or variable) පමණයි, තමුසෙලා දන්නවද ඒ ඇයි කියල, කෙහේ දැනගන්නද තමුසෙලා 9 වසර විද්‍යාවත් උනන්දුවෙන් ඉගෙන ගත්තේ නෑනේ"

සර්ට හොදටම තද වෙලා

"එහෙම කරාම තමයි ඕයි පරීක්ෂණය හරිගියේ මොකකින්ද කියල හොයාගන්න පුළුවන්, ඔක්කොම විචල්‍යයන් එක සැරේ වෙනස් කරල, කෙල උනේ මොකෙන්ද හරි ගියේ මොකෙන්ද කියල හොයාගන්න බෑ, එනවා මෙතන පරීක්ෂණ කොරන්න, මුලින්ම ලියාගන්නවා ලිස්ට් එකක්, ඒ ලිස්ට් එකට ඔය මුලද්‍රව්‍ය,අමුද්‍රව්‍ය විතරක් නෙවෙයි, පන්ති නායක, අංශ ප්‍රධාන, උපදේශක මේ ඔක්කොම එන්න ඕන, ඊට පස්සේ ඔය ම්නිස්සු ටික එකතුවෙලා මුලද්‍රව්‍ය වල ලිස්ට් එකක් හදල ඒ විදියට පරීක්ෂණ කරනවා, වරකට එක බැගින් සාධකයක්‌ හෝ විචල්‍යයක්‌ වෙනස් කරලා බලනවා, එහෙමයි පරීක්ෂණ කරන්නේ, එතකොටයි හොයාගන්න පුළුවන් වැරදුනේ කොතනද කියල, විද්‍යාව අමතක වෙලා, මනස්ගාත ඔලුවට ගිහින්, බලනවා අර බිත්ත්යේ එල්ලපු මගුල, ඕක ගිහින් එල්ලනවා නැටුන් කාමරේ හරි සංගීත කාමරේ හරි,ඔය මූලික සිද්ධාන්ත ටික අනුගමනය කරලා  මට ඇවිත් කියනවා, ඊට පස්සේ බලමු ඉතුරු ටික"

එහෙම කියපු විද්‍යාව සර් දඩස් ගාල දොරත් වහගෙන යන්න ගිය.

විදුහල් පති තුමා නැගිට්ට

"යකෝ මුගේ ගණන් ටික, මොන මගුලක්ද  ඒ කියවල ගියේ, හිතන් ඇති ඌ මම 9 වසර පාස් නැතිව ඇවිත් පගාවට විදුහල් පති උනා කියල. පෙන්නනම්කො මම ඌට මගේ තරම, ඔය ළමයි කලබල වෙන්න එපා, ඔය සර් ටිකක් කොහොමත් ඔහොම තමයි, මේවා කියන්නත් හොද නෑ මිනිහට පොඩි අප්සට් එකක් තියෙනවා, එකනේ ඔය අමුතු අමුත් වචන කියවල ගියේ, ඒක අමතක කරලා දාමු, අපි මහන්සි වෙලා වැඩේ කරමු, නිමල් බලන්න බී පන්තියෙන් හොද ළමයි කීපයක් ඊලග පරීක්ෂණයට ගන්න"


Wednesday, November 1, 2017

මම ලස්සන රොඩි කෙල්ලෙක් උනානම්, අත අල්ලල හිත කියනවා....


"මොනවද  බන් අද උබේ බත් එකේ තියෙන්නේ ? ඒ දාපන්කෝ බන් ඔය මස් කෑල්ලක් , මාසේ අන්තිම වෙනකොට පුල් කෝඩේ බන්."

"මේ ජනිය... උබ ඉතින් මාසේ මුල ඉදලම කියන්නේ ඕකනේ."

"නෑ බන් සිරාවට, අලුත් මැනේජර් කාරයක් එක්ක අමාරුයි බන් ඕ ටී පාරක් ගහන්න ගියත් බර බරේ."

"ඉතින් ඇත්තනේ බන්, උබල නිකන් බොරුවටනේ ඔය ඕ ටී ගහන්නේ, කරන මගුලකුත් නෑ..."

"අනේ මේ ජනිය මට එපා තොගේ මස්, තොටත් තේරෙයි ඕව, බැඳලා ළමයෙක් දෙන්නෙක් හැදුවම.."

"ආ ආ ගනින් ඉතින්..තොපිත් ඉතින් අපිටම හැදිච්ච යාළුවොනේ, අපි දෙකෙන් නවත්තන්නෑ ඩෝ, ජාතිය රකින්න හදනවා පහක් , පහක්

කොටා එසේ කීවේ තම  පත් පංගුවෙන් මස් කෑල්ලක් ජනිගේ පිගානට විසි කරන ගමන්

"තෑන්ක්ස් කොටා ..."

"ඒක නෙවෙයි කොටා උබ දැක්කද අර වීඩියෝ එක ?"

"මොන ?"

"ජනිය ? උබ දැක්කෙත් නැද්ද ? "

"අනේ බන් සජිත්, මොන වීඩියෝද මගේ ඩේට ඉවරයි."

"ඉදහන් මම පෙන්නන්න."

"මේ...මෙන්න බලපන් මූ මේ අහිංසක සතාට කරන වැඩේ.."

"කටවහන් ඉදපන් අපිට පේනවා."

"අනේ....ගැලෙව්වා නේද දත් දෙක... පව් අනේ ඒ අහිංසක සතා...."

"කටවහන් හිටපන් යමුන!  උබ ඉතින් මිනිහගේ දත් තිස්දෙකම ගලවලානේ ඉන්නේ"

"ඇල්ලුවා , කෙලින්ම දත් දෙක ගැලෙව්ව, දාගත්ත පෙට්ටියට. ඒක තමයි ඔය සිංහයා වගේ බයක් නැතිව පාරේ තියන් නටවන්නේ."

"මේවානම් මහා පව් වැඩ නේද බන්.."


"තොපි හිතුවද දවල් කෑමට පැය දෙකක් තියෙනවා කියල, බොරුවට මෙතන වෙලාව කකා නැලවී නැලවී ඉදල පස්සේ එනවා ඕ ටී ගහන්න, පලයල්ලා ගිහින් ලයින් එකේ වැඩ පටන් ගනිල්ලා. "

"නෑ සර් අපි මේ දැන් අවේ, බලන්නකෝ මේ වීඩියෝ එක, හරිම දුකයි".

යමුන කොහොමත් ලොක්කව නවන්න දන්නවා, හප්පේ ලොක්කටත් ඉතින් චිත්තයක්නම්...

"මොන"

"මේ බලන්න සර්"

"ම්... මම දැක්ක, තිරිසන්නු", ඒකට කමක් නෑ දැන් ගිහන් වැඩ කරන්න


                                                                ~~~~ නිමි ~~~~

Saturday, July 8, 2017

අතීතය සිහිනයාක් පමණයි




අතීතය සිහිනයාක් පමණයි


"කව්ද බොලව් මගේ විමානෙ පුළුටු බදින්නෙ ?"  සක්‍ර දේවේන්ද්‍රයා මහ හඬින් මුළු විමානයටම ඇසෙන සේ ඇසීය.

"කව්රුත් නෑ දේවෙයන් වහන්ස, අපට ඔබ වහන්සේ වැඩ සිටින දිශාවෙන් මිනිත්තු කීපයක පටන් පුළුටු ගන්ධයක් වහනය වෙනවා, ඔබ තුමා උරණ වෙයි සිතා අප නිහඩව සිටියේ"

"අප්පට බොල හැබෑ නේන්නම්, මගේ ලගින් නොවැ ගන්ධය වහනය වෙන්නේ" දේවේන්ද්‍රයා පඩුපුල් ආසනෙන් නගී සිටින්නට වෙර දරත්ම තමාගේ පශ්චාත් භාගය පඩුපුල් ආසනයේ ඇලී ඇති බව දන ගැනීමත් සමගම,

"අප්පට බොල මගේ ආසනේ සැරටම රත් වෙලා නොවැ, මට දැනුනෙවත් නැනේ, මමත් දැන් මනුස්ස ලොවේ රෝගය බෝ වෙලා, මුළු සරුවාන්ගෙම හිරි වැටිල"

සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පශ්චාත් භාගය උම්බලකඩවී ගොස් තිබිණි.

"මාතලී, මාතලී, ගනින් ඔය වහනේ, මනු ලොවේ ලොකු ප්‍රශ්නයක් වගේ ඉක්මනට යමන්"

"එසේය දේවයන් වහන්ස, අසුන්ගත වනු මැනවි" ඇසිල්ලෙන් මාතලී රථයත් රැගෙන විමානයේ දොරටුව අසල.


"ඔයා කියන්නෙ එතකොට මම හැමදාම සීතල වෙච්ච කෑම කන්න ඕන කියලද ? "

"මම එහෙම නෙවෙයිනේ කියන්නේ, ඔය මයික්‍රෝ වේව් ඇඟට හොඳ නෑ"

"ඉතිං බබා ප්‍රක්ටිකලි වෙන ඔප්ෂන් එකක් නෑනේ"

" ඔයා ඕන මගුලක් කරගන්න, මම යනව අම්මලාගේ දිහා, මට එතකොට ඔය මයික්‍රෝ වේව් අවන් ඕනෑ නෑ, හැමදාම උණු බත් කන්න පුළුවන්"

"ඉතිං යන එකනේ ඇත්තේ"

"හෝව් හෝව් හෝව්, කොහෙද මේ දරුවා යන්න හදන්නේ ?"

"ඕ මයි ගෝඩ්, සක්‍ර දේවය, අවසර දේවයන් වහන්ස, එන්න මෙහේන් අසුන් ගන්න"

"මොකක්ද දැන් ඔය ප්‍රශ්නේ"

"මේක සුළු දෙයක් දේවයන් වහන්ස"

"සුළු දෙයක් වෙන්නේ කොහොමද, බලාපිය මගේ පශ්චාත් භාගය, මගේ යකා නග්ගන්නේ නැතිව කියන්න බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා"

"මේකයි දේවෙයන් වහන්ස මම හැමදාම ගෙදර එන්නේ අට නමය වෙලා, මම එනකොට ඔක්කොම කෑම සීතල වෙලා, මම මෙයාට කිව්වා මයික්‍රෝ වේව් අවන් එකක් ගමු  කියලා, මෙයා කියනව මයික්‍රෝ වේව් අපේ ශරීරෙට අහිතකරයි කියල"

"මේකනේ දේවයන් වහන්ස ඔය සුද්දෝ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව එක එක ඒවා හදනවා, අන්තිමට අපේ ජාතිය විනාස වෙනවා ඕව පාවිච්චි කරලා"

"හෝව් හෝව් , මොනවද ඔය මයික්‍රෝ වේව් කියන්නේ"

"මොකද මගේ මූන බලන්නේ, ඔයානේ දැන් හොද නෑ කිව්වේ, ඔයාම කියන්න"

"නෑ මේ මයික්‍රෝ වේව් හොද නෑ කියල කට්ටිය කියනවා, මම කියන්නේ මේ.. අපේ රට, ජාතිය, අපිට ඕව ගැලපෙන්නෑ"

"මොකක් මොකක්" සක්‍ර දේවේන්ද්‍රයාට කිසිවක් තේරුම් ගත නොහැකිව සයන්ස් ෆික්ෂන් චිත්‍රපටියක්ව නරබන ලෙස වරෙක රත්නපලගේ මූනත් වරෙක අලියාගේ මූන දිහාත් බලමින් කල්පනා කරනන්ට විය.

"මට පැහැදිලි මදි, මොකක්ද දැන් ඔය මගේ පඩුපුල් ආසනේ මෙච්චර රත්වෙන්න ඔය දරුවොන්ගේ දැවෙන පශ්නේ... ? " සක්‍ර දේවේන්ද්‍රයා අනුකම්පා සහගතව ඇසීය .

"දැන් මේකනේ දේවෙයන් වහන්ස, අපි ලස්සනට ජීවත් වෙච්ච ජාතියක්, මේ පර සුද්දෝ අපේ රට අල්ලාගෙන අපේ රට ජාතිය විනාස කරා, ඒ මදිවට තාමත් අපිට විස දේවල් එවනවා, මෙයා කියනවා මයික්‍රෝ වේව් අවන් එකක් ගමු කියලා, ඒකත් ඒ වගේ දෙයක් තමයි, ඒවත් අපිට හොද නෑ" එසේ කියූ ආලිය තම අත ඇති ඇපල් දුරකථනය හා මෝටර් රථයේ යතුර කලිසම් සාක්කුවේ හොවගත්තේ අතට නිදහසක් දීමටය.

"මට මොනවත් තේරෙන්නේ නෑ, ඒත් මේ පශ්නේ විසදන්නේ නැතිව මට මගේ ආසනේ වැඩිවෙන්න බෑ, මම මොකද කරන්නේ"  සක්‍ර දේවේන්ද්‍රයා දුක්මුසු මුහුණින් කල්පනා කරනන්ට විය.

"දේවයන් වහන්ස අපි කාලය හරහා පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බලමුද ? වාහනෙත් හොද තත්වේ තියෙනවා, මම තත්පරෙන් ඔබතුමාව අරන් යන්නම්"

මාතලී තම කටහඩ අවදිකළේ තම ස්වාමියා, සක්‍ර දේවේන්ද්‍රයාගේ කිසිදිනෙක මෙලෙස සිටිනු දක්නට නොලැබීම නිසාය.

"ගුඩ් අයිඩියා, අපි යමු මාතලී"

2016 > 2015 > 2014 ..... > 1987  "ඕන් දේවයන් වහන්ස 30ක් පස්සට".



"අප්පට සිරි බොල මාතලී, තත්වේ දරුණුයි, බලමු ලං කරලා"

"තොපි ඔය සුද්දගේ සීල් කොරපු බීම බීල මල පලච්චාවේ, කම්මැලි කම නැතිව කිතුල් මලක් මැද ගනිකෝ ජයේ"

"එහෙම කොහොමද විජේ, මේවා තමයි සුපර් පිරිසිදු බඩු, දෙකයි දාන්න ඕන නියම පදම, බොරුවට ඔය ගස් බඩගාන්න ඕන නෑ, බාර් එකට ගියා, බඩු ගත්ත ගැහුවා"

"හෝව් හෝව්, මොකක්ද ඔය පශ්නේ ? "

"ඕහැ, සක්‍ර දේවය, අවසර දේවයන් වහන්ස, එන්න මෙහේන් අසුන් ගන්න"

"මොකද ඔය ගැටළුව ? "

"මේකනේ දේවයන් වහන්ස, අපි හොද ඉතිහාසයක් තියෙන ජාතියක්, මේ අපිව විනාස කරන්න පර සුද්දෝ රට අරක්කු එවලා, ඒ මදිවට සිගරට්, අපි අපූරුවට රා ටිකක් බීල, බුලත් විටක් කාල හිටපු ජාතියක්" විජේ කටහඩ අවදි කළා.

"අනේ යන්න විජේ , උබලට පිස්සු"  ජයේ කියනවාත් සමගම සක්‍රයා නැවතත් කථාකරන්න පටන්ගත්ත


"මාතලී මේක බොන්න ඕන ප්‍රශ්නයක්, මටනම් මොනවත් තේරෙන්නේ නෑ, තව ටිකක් පස්සට යමු


1986 > 1985 > 1984 ..... > 1957

"මේක තමයි බොල හොදම බාසාව, ඔය පරසුද්දගේ බාසාව අමතක කරලා සිංහල ඉගෙන ගනින්"

"එහෙම කොහොමද, ඒක තමයි ජාත්‍යන්තර බාසාව, අපි ඉංග්‍රීසියෙන් ඉගෙන ගමු"

"බෑ , බෑ, පර සුද්දෝ අපිව කන්න හදනව "

කිසිවක් නොකී සක්‍ර දේවයා, මාතලීට ඔලුවෙන් සඥා කලේ තවත් පස්සට යන ලෙසයි.


1956 > 1955 > 1954 ..... > 1880



"අපි මේකට විරුද්ධ වෙන්න ඕන, ඔය තීන්ත, කඩදාසි අපේ ශරීරයට විසයි, අපි වැලි පීල්ලේ, ගල් ලෑල්ලේ අකුරු ලියපු ජාතියක්, පර සුද්දෝ අපිව විනාශ කරන්න ඔය තීන්ත , කඩදාසි එවල තියෙන්නේ"

"එහෙම කියන්න එපා, මේක හරිම ලේසියි, අනිත් එක අපිට ලියන ඒවා තියාගන්න පුළුවන්"

"බෑ බෑ , මේක අපිව විනාස කරන්න කරපු දෙයක්"

"මොකක්ද දැන් ඔය ගැටළුව ? " කළකට පසු සක්‍රයා කටහඩ අවදිකළේ කෙසේ හෝ මේ ප්‍රශ්නය විසදාගත යුතු නිසාය

"ඕහැ, සක්‍ර දේවය, අවසර දේවයන් වහන්ස, එන්න මෙහේන් අසුන් ගන්න"

"පර සුද්දෝ අපිව විනාස කරන්න හදනවා දේවයන් වහන්ස"

"අපි යමන් මාතලී"

"කොහෙටද"

"උබට පුළුවන් තරම් පස්සට"

.. > .. > ..... >

"අපි අපේ රාජ උත්තෝමයන්ට රිසි පරිදි ජිවත් උන ජාතියක්, අපිට අපේ රජතුමා ඕන"


... > .... > ...... >

"අපි මේ වනයට ආදරෙයි, අපිට ඔය පරදේසක්කාරයන්ගේ ඇදුම් ඕන නෑ, අපි දිගටම කොළ අතු අදිමු"


මාතලී දිහා බැලූ සක්‍ර දේවයන් "යමන් මාතලී, අපි පඩුපුල් අස්නේ අලුතින් හදාගමු, විමනට යනගමන්  ඇමරිකාවටත් ගොඩවෙලා යමන් හොද රත්වෙන්නේ නැති අමුද්‍රව්‍යක් ගන්න මගේ ආසනේ හදාගන්න


Saturday, June 24, 2017

තිසර නිසා ඉන්දියාවට ගිලිහුණු කුසලානය





කථාව 1


අයි සී සී ශුරයන්ගේ කුසලානය / ICC Champions Trophy


B කණ්ඩායම : පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර 
Group B: Pakistan v Sri Lanka at Cardiff - Jun 12, 2017

කාසියේ වාසිය : පකිස්ථානු කණ්ඩායමට 

මුලින්ම පන්දුවට පහර දීම:  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2 ක් තුල සියලු දෙනාම දැවී ලකුණු 236

පකිස්ථානු කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ ලකුණු  193 කඩුලු 7යි. ජයග්‍රහණය සදහා තවත් ලකුණු 44යි

ඔව් ක්‍රීඩා ලොලී අසන්නනි, 39 වන පන්දුවාරය යැවීම සදහා ලසිත් මාලිංග සුදානමින්......

39 පන්දුවාරයේ දෙවන පන්දුව : ලසිත් මාලිංග වේගය අඩාල කරමින් යැවූ පන්දුවට ෂෆ්රාස් අහමගේඩ්ගේ පන්දු පහර කෙලින්ම තිසර පෙරේරාගේ අතට උඩ පන්දුවක් ලෙස ඇදී යනවා. ඉතාමත් පළපුරුදු හා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ තිසර ඉතාමත් මැනවින්, ඉතාමත් සුරැකිව පන්දුව ලභා ගැනීමත් සමගම මෙතෙක් වෙලා හොදින් පන්දුවට පහර දෙමින් සිටි පකිස්ථානු නායකයා පකිස්ථානුවන්ගේ අයි සී සී සිහිනය බිද දමමින් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගමන් කරනවා. ෂෆ්රාස් අහමගේඩ්ගේ  දැවී යාමත් සමගම පකිස්ථානු කණ්ඩායම 194 කඩුලු 8යි. තවත් ලකුණු 43ක් අවශ්‍යයි කඩුලු දෙකක් අතැතිව.

39 පන්දුවාරයේ අවසාන  පන්දුව : ලසිත් මාලිංග, ඉතාමත් හොදින් වේගය අඩාල කර යවන ලද පන්දුව හසන් අලී ගේ පසුපස පාදයේ වදිනවාත් සමගම ප්‍රබල ඉල්ලීමක්, විනුසුරුගේ අත ඉහලට, ඔව් මේ අවස්ථවෙදී  හසන් අලී කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී යනවා.

ඔව් ක්‍රීඩා ලොලී අසන්නනි පකිස්ථානු කණ්ඩායම ඉතාමත් අසීරු අඩියක පත්ව තිබෙනවා මේ මොහොත වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් මැනවින් තරගයට ප්‍රවිෂ්ට වී තිබෙනවා. 

හතලිස් වන  පන්දුවාරය සුරංග ලක්මාල්. ඉතාමත් මැනවින් නිමා කරා, ලකුණු 3ක් පමණයි ලභාදුන්නේ එම පන්දු වාරය තුල. පකිස්ථානු කණ්ඩායමට ජයග්‍රහණය සදහා තවත් ලකුණු 40ක් අවශ්‍යයි එක් කඩුල්ලක් අතැතිව.

හතලිස් එක් වන පන්දුවාරයේ පළමු පන්දුව ලසිත් මාලිංගගෙන් මොහොමඩ් අමීර්ට, ඔව් පිතිකරුගේ සීමා ඉරටම එල්ල කළ පන්දුව අමීර්ගේ දෙපා අතරින් කෙලින්ම පා ඉන්න සොයා යනවා, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය ලකුණු 40කින් පරදවා අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබනවා. ජුනි මස 14 වන දින ශ්‍රී ලංකා කාණ්ඩය එංගලන්ත කණ්ඩායම මුණ ගැහෙනවා ඇති. 

ලසිත් මාලිංගගේ දක්ෂ පන්දු කරණය හමුවේ අසරණ වූ පාකිස්ථානු කණ්ඩායම හෙට තම මව් බිම කරා යාමට නියමිතයි. මේ අනුව ශ්‍රී ලංකා කාණ්ඩය හා එංගලන්ත කණ්ඩායම පළමූ අවසන් පූර්ව ජුනි 14 දින පැවැත්වෙනවා ඇති.




------------------------

පළමූ අවසන් පූර්ව තරගය එංගලන්තය හා ශ්‍රී ලංකාව 
1st Semi-final: England v Sri Lanka  at Cardiff - Jun 14, 2017

කාසියේ වාසිය : එංගලන්තය කණ්ඩායමට 

මුලින්ම පන්දුවට පහර දීම:  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ක් තුල කඩුලු 5ක් දැවී ලකුණු 289 යි 

එංගලන්ත කණ්ඩායම තමන්ගේ ඉලක්කය ඉතාමත් පහසුවෙන් ලගා කරගන්නවා , කඩුලු 3ක් පමණක් දැවී පන්දුවාර 48යි පන්දු 1ක් තුල ජයග්‍රහණය වාර්තා කරනවා, ඒ අනුව එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා .

------------------------

අවසන් මහා තරගය ඉන්දියාව හා එංගලන්ත අතර  
ICC Champions Trophy, Final: India v England at The Oval, Jun 18, 2017

කාසියේ වාසිය : එංගලන්තය කණ්ඩායමට 

මුලින්ම පන්දුවට පහර දීම:  එංගලන්තය කණ්ඩායම පන්දුවාර 50 ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 312 යි 

ඉන්දියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී පන්දුවාර 49යි පන්දු 2ක් තුල තමන්ගේ ඉලක්කය සපුරා ගනිමින් 2017 අයි සී සී ශුරයන්ගේ කුසලානය දිනාගන්නවා.





කථාව 2


අවසන් මහා තරගය ඉන්දියාව හා පකිස්ථානය  අතර

ICC Champions Trophy, Final: India v Pakistan at The Oval, Jun 18, 2017

පකිස්ථානයට ලකුණු 180 ජයක් 


කථාව 3


නිවසින් මෝටර් රථය එළියට ගත් රත්නපාල වේගයෙන් කන්තෝරුව කරා ඇදී යන්නේ  කන්තෝරුවේ සතිපතා පැවැත්වෙන සාකච්චාව අද නිසාය. ඔහුට මෙම මාර්ගයේ දෑස් පියාගෙන උවද මෝටර් රථය පැදවිය හැක්කේ උපන්දා සිට වාසය කරන්නේ මෙම නිවසේ නිසාත් මෙම මාර්ගය ඔහු පාසැල් යන අවධියේ සිට භාවිත කළ නිසාත් යන හේතුවෙනි. මෝටර් රථය අනාරක්ෂිත දුම්රිය මාර්ගය පසුකරනවාත් සමගම රත්නපාල දුටුවේ වේගයෙන් තමන් වෙතට ඇදී එන "සේපාලිකා" දුම්රියයි. කිසිවකුට කිසිවක් සිතන්ට කාලයක් නොතිබිණි, මුළු ගමක් හඬවා රත්නපාල මෙලොව හැර දමා ගොස් තිබිණි. 

කථාව 4


නිවසින් මෝටර් රථය එළියට ගන්නවාත් සමගම රත්නපලගේ බිරිද, ආලියා නිවසේ ඉදිරිපස ගේට්ටුව අසලට දිව ආවේ රත්නපාලට අමතක වූ දිවා ආහාරය රත්නපාලට ලභා දීමටයි.

"තැන්ක්ස් බබා මට අමතක උනා, කොහෙද අද මීටින්ග්ස් තියෙන දවසනේ එකයි හදිස්සිය"

"ඒකට කමක් නෑ, පරිස්සමෙන් යන්න"

"ඕකේ බායි"  

නිවසින් මෝටර් රථය එළියට ගත් රත්නපාල වේගයෙන් කන්තෝරුව කරා ඇදී යන්නේ කන්තෝරුවේ සතිපතා පැවැත්වෙන සාකච්චාව අද නිසාය. ඔහුට මෙම මාර්ගයේ දෑස් පියාගෙන උවද මෝටර් රථය පැදවිය හැක්කේ උපන්දා සිට වාසය කරන්නේ මෙම නිවසේ නිසාත් මෙම මාර්ගය ඔහු පාසැල් යන අවධියේ සිට භාවිත කළ නිසාත් යන හේතුවෙනි. 

"ශික් මටමනේ වෙන්නේ, මේ මගුල් කෝච්චියත් මේ වෙලාවේම යනවනේ" දුම්රිය මාර්යේ ඉදිරියට ඇදී යන "සේපාලිකා" දුම්රිය දෙස තරහින් බලාසිටි රත්නපාල තම නලාව හැඩවූයේ තමාට ඉදිරියෙන් ඇති මෝටර් රථයට දැන් පලයන් කෝච්චිය ගියා කියන්නක් මෙනි

~~~~~~~~~~~~~~~~~~~~~~~ නිමි ~~~~~~~~~~~~~~~~~~~~~~~~~


"ආරම්භයේ ඇති වන සුළු සංවේදීතාවයේ වෙනස අවසානයදී විශාල වෙනස්කම් ඇති කරයි" 


The butterfly effect is the concept that small causes can have large effects. Initially, it was used with weather prediction but later the term became a metaphor used in and out of science.[1]

In chaos theory, the butterfly effect is the sensitive dependence on initial conditions in which a small change in one state of a deterministic nonlinear system can result in large differences in a later state.

https://en.wikipedia.org/wiki/Butterfly_effect


Wednesday, June 21, 2017

ගංවතුර බලන්න ඇමති තුමා අවාද ?



ගංවතුර බලන්න ඇමති තුමා  අවාද ?

පසුගිය දිනවල ඇතිවූ ස්භාවික ආපදාවන් සමගම ජනතාව තමන්ගේ දුක සැප බැලීමට මැති ඇමතිවරුන් නොපැමිණි බවට චෝදනා කළ අතර දුක සැප බැලීමට පැමිණි මැති ඇමතිවරුන්ට ඉහල ප්‍රතිචාර ලැබුණි. කරවටක් ජලයේ බැස මාධ්‍ය සංදර්ශන පැවැත්වූ මැති ඇමතිවරු ඉහලින් වර්ණනා කරනු දක්නට ලැබිණ.

ලංකා වාසී ජනතාවගේ දේශපාලන දැනුම පිළිබඳව අවබෝධයක් මෙමගින් ලැබේ. ( පාසැල් අද්‍යපනයෙන් හෝ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන දැනුම ලබා නොදෙන නිසා දේශපාලන අවබෝධය හා අධ්‍යාපන මට්ටම අනුව කිසිදු සම්බන්ධයක් නැත) .

දේශපාලන නායකයන් යනු ඕපපාතිකව බිහිවන අය  නොව අප අතරින්ම නිර්මාණය වන පිරිස්ය. එනම් බහුතර කැමැත්තට බිහිවන පිරිස්ය. බහුතර කැමැත්ත හොරෙකුට, මංකොල්ල කාරයෙකුට හෝ මාධ්‍ය සංදර්ශ පවත්වන්නේකුනම් ඔහු පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගනු ඇත. බහුතර කැමැත්ත උගත්, බොරු නොකියන, ප්‍රතිපත්ති ගරුක අයෙකුටනම් ඔහු පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගනු ඇත.




ඉහත ප්‍රස්ථාර සැලකීමෙන් පහත විස්තරය කියවමු.

එක් එක් කොටස් ඡන්දය භාවිත කරණ අයුරු. දළ  වශයෙන්

අ :  බඩු මල්ලට, දෙවියන්ගේ සලකුණ නිසා, ගෙදරට ආපු නිසා, මගේ ඡන්දය දෙන්න ඕන දිනන කෙනෙකුට

ආ : දෙමාපියන් ගේ පක්ෂය, රැකියාවක් බලාපොරොත්තුවෙන්, ගමේ මිනිහට, ළමය ඉස්ස්කොලේ දාගන්න, අපේ ආගම
       ජාතිය රකින මිනිහ, ලගම හිතවතෙක්, ඉස්ස්කොලේ එකා , ගංවතුර කලේ සුපිරි වැඩක් දුන්න නිසා, රැල්ලට

ඇ : ප්‍රතිපත්ති  කියවා , අධ්‍යාපන මට්ටම බලා, කලින් හැසුරුණු විධිය බලා, ජාතිවාදී ආගම්වාදී දැයි පරික්ෂාකර, ආර්ථික
       ප්‍රතිපත්තිය බලා

ඉහත 'අ' හා 'ආ' කොටස් තමන්ගේ දුක සැප බැලීමට මැති ඇමතිවරුන් පැමිණෙන තුරු බලා සිටී. සහ මැති ඇමතිවරුන් බිහිවී සිටින්නේ 'අ' 'ආ' කොටස් වලින් බැවින් දුක සැප බැලීමට තමන් යා යුතු බව ඔවුන් සිතා සිටී.

කණගාටුවට කරුණ නම් අපේ රටේ ජනතාව 'අ' කොටස දෙසට වේගයෙන් ගමන් කිරීමයි.

මෙය දේශපාලනයට පමණක් අදාල නොවන අතර ජන මධ්‍ය ,රුවාහිනිය, ගුවන් විදුලිය, ගීත කලාව, නාට්‍ය කලාව, චිත්‍රපට එකී මෙකී හැම ශේත්‍රයකටම සීග්‍රයෙන් පැතිර යමින් සිටි.

මෙම ක්‍රියාවලිය අපි අකමැත්තෙන් හෝ බාරගත යුතුය, ඒ ඒ පුද්ගලයන් තීන්දු තීරණ ගන්නේ තමන්ට හැගෙන දැනෙනා හා අවබෝධ වන ප්‍රමාණයටය.

විසදුම : ඔබ අයත් වන්නේ සුළුතර 'ඇ' කොටසට නම් මේ සිටින්නේ ඔබ කැමති පාලකයෝ නොවේ, එක්ක්කෝ විදේශ ගත විය යුතුය, නැතිනම් ඉවසා සිටිය යුතුය, නැතිනම් ඊලග පරම්පරාව හෝ 'ඇ' කොටස දිශාවට තල්ලු කළ යුතුය. බහුතරයට කතාකිරීම පහසුය, දේවල් විකිනීමට පහසුය. නමුත් ඔවුන් 'ඇ' දිශාව වෙතට තල්ලු කිරීම ඉතාමත් අපහසුය.


ප.ලි

අමාත්‍යංශ පිහිටවා, ලේකම්වරු පත්කර , රට පළාත් , දිස්ත්‍රික්ක , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ , ග්‍රාම නිළධාරී කොට්ඨාශ වලට වෙන් කර ඇත්තේ පහසුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කර  ගැනීම සදහාය. කරවටක් ජලයේ බැස හෝ ළිදට බැස මළමිනී ගොඩට ගැනීම මැති ඇමතිවරුන්ගේ කාර්යන් නොවේ, මැති ඇමතිවරුන්ට වෙනත් කාර්යන් කිරීමට ඇත. කනගාටුව  නම් මැති ඇමතිවරුන් බිහිවී සිටින්නේ 'අ' 'ආ' කොටස් වලින් බැවින් දුක සැප බැලීමට තමන් යා යුතු බව ඔවුන් සිතා සිටින අතර ඔව්න්ගේ සැබෑ කාර්ය භාරය නොහදුනයි.

Wednesday, June 7, 2017

අපි ඈතට ඈතට පා නගනා




නයා හැඩති සරුංගලය වලාකුළු අතරින් පා වෙනවා.

"දැන්නම් එච්චර වේගයෙන් උඩ යන්න්නත් බෑ වගේ, ම්...  මම මිනිත්තු 40ක් විතර උඩ හිටිය නේද, බලන්න ඕන වටේ ලස්සන, ෂා...."

වටේටම ලස්සන ලස්සන සරුංගල්, එක එක පාට , එක එක හැඩයේ ඒවා.සමහර ඒවගේ නූල් කඹ වගේ හොදට ගැට ගහල උඩ එවල තියෙන්නේ. සමහර නූල් කැඩෙන්න ඔන්න මෙන්න. සමහර ඒවා තාමත් වේගයෙන් උඩ යනවා, සමහර ඒවා හුළගට අහුවෙලා අමාරුවෙන් උඩට එනවා. සමහර ඒවගේ නූල් නෑ හරිම වේගෙන් උඩට එනවා. 

"ඔහ් කවුද අර කළබලයෙන් උඩට එන්නේ, ම්.. වවුලෙක් වගේ ලස්සනට හදපු සරුංගලයක්, මිනිහ ටිකක් කලබලෙන් වගේ පා වෙන්නේ. පොඩ්ඩක් ලං කරලා බලන්න ඕන මොකද කියලා"



"ආ වවුලෝ මොකද නිකන් කලබලෙන් වගේ, උඩ ගුවනෙදී කලබල වෙලා බෑ"

"කළබල නොවී කොහොමද නයෝ, තව කොච්චරනං උඩ යන්න තියෙනවද , බලන්නකෝ උඩ අහස දිහා, කෙළවරක් නෑ මට පුළුවන් ඉක්මනට උඩට නැගල බලන්න ඕන" 

"බලපන් වවුලෝ වටපිට හරිම ලස්සනයි මෙතන, ටිකක් ඉදල යමු , මමත් මේ කම්මැලි කමේ හිටියේ"

"බෑ බෑ මට වැඩි වෙලාවක් නෑ, ලැබුණ වේලාවෙන් පුළුවන් තරම් උඩට යන්න ඕන, මම යනවා"  එහෙම කියපු වවුලා ආපහු උඩට යන්න හදනකොටම නයා මහා හයියෙන් අමුතු විදියට හිනා උනා.

"මොකද උබ හිනා වෙන්නේ"

"කොහොමද වවුලා උබ උඩ යන්නේ, උබේ නූල එච්චර දිග නෑ"

"අහ් ඇත්ත නේන්නම්, කොහොමද උබ ඒක එක පාරටම දැනගත්තේ ? "

"මම දැන් විනාඩි 45ක්  විතර උඩට ඇවිත්, මට දැකපු ගමන් තේරෙනව, උබ කොච්චර වේලාවක්ද උඩට ඇවිත්"

"මම විනාඩි 25ක් 30ක් වගේ උනා"

"මෙච්චර ඉක්මනට උබ මෙච්චර උඩට ආවද, උබ හොද වැඩ කාරයෙක් එහෙනම්, දැන් උබ නූලට හිරවෙලා ඉන්නේ, ඉවසන් ඉඳපන් පහලින් හිමිහිට හිමිහිට තව නූල් දෙනකම්"

"බෑ බෑ මට වෙලාව මදි වෙයි, මට කොහොම හරි යන්න ඕන උඩට"

"ඒක කරන්න අමාරු වැඩක් වවුලෝ, අපිට ඕන ඕන විදියට ඒක කරන්න බෑ, ඒකට පහලින් උදව් ඕන"

"උබ දැන් ගොඩක් වෙලා උඩ හිටිය කිව්වනේ, වෙන විකල්පයක් නැද්ද උබේ ඔලුවට ආවේ"

"වෙන විකල්ප තියෙනවා එක , උබ හොකොම හරි දගලලා ඔය නූල කඩාගනින්, එහෙම නැතිනම් පහලට පණිවිඩයක් යවපන් නූල අතාරින්න කියල, එහෙමත් නැත්නම් නැමෙන සුළු, ඇදෙන සුළු (Flexible) නූලකින් ගැට ගහන්න කියපන්"

"දැන් නූල අතාරින්න කියල පණිවිඩ යවන්න වෙලාවක් නෑ මම නූල කොහොමහරි කඩාගෙන උඩට යනවා නයෝ, උබත් වරෙන් මාත් එක්ක යන්න"

එහෙම කියපු වවුලා නයාගේ නූල දිහා බැලුව. " හපොයි නයෝ උබටනම් කවදාවත් ඔය නූල කඩන්න බෑ, බලපන් ඕකේ ලොකු"



"මට මේක කඩන්න ඕන නෑ වවුලෝ"

"එහෙම කියල කොහොමද නයෝ, අපිට තව කොච්චර උඩ යන්න තියෙනවද, බලපන් මගේ නූල හරිම ලේසියි කඩන්න, මොකද ඇත්තටම ඔච්චරම මහත නූලක් ? "

"මේකනේ, මටත් ඔය වගේ එකක් තිබුණ දැන් විනාඩි 20කට විතර කලින්, එන්න එන්න එකට අලුත් නූල් එකතු වෙනවා, දන්නෙම නැතිව නූල කඹයක් වගේ වෙනවා" 


"මොනවද ඔය පාට පාට නූල්, මගේනම් නූල් පොටවල් දෙකයි, එකක් අපේ අම්ම ගැට ගහපු එකක්, අනිත් එක මගේ අර.. අරය ගැට ගහපු එක,  අපේ ආච්චි මම එනකොට එකක් ගැට ගහන්න හැදුව , මොකටද බං ඔය පරණ නූල්, ඒවා මහා කරදර වැඩ, හැම තැනම ගැටවලින් අමුණලා, පැටලෙනවා, මම එපා කිව්වා, ඇත්තටම මොනවද ඔච්චර ඔය තියෙන්න කඹයක් වගේ ?"

"එකක් අම්මගේ, අනිත් එක මගේ වයිෆ් ගේ, අනිත් එක ආච්චිගේ, එකක් ලොකු හාමුදුරුවන්ගේ, ඔෆිස් එකෙන්, ග්‍රාම සේවක මහත්තය, කව්රුත් මේකේ නූල් ඔතල තියෙන්නේ"

"එකනේ කියන්නේ නයෝ උබට නම් ගැලවීමක් නෑ, මට දුකයි උබ ගැන, මම නූල කඩාගෙන උඩ යනවා"

"පොඩ්ඩක් කලබල නොවී ඉඳපන් වවුලෝ, ඕක බයානක සෙල්ලමක්, උබ භෞතික විද්‍යාව දන්නවද ? "

"මොකක් "

"ඔව් වවුලෝ, වස්තුවක් නිශ්චල සමතුලිතව පැවතීමට එම වස්තුව මත සමතුලිත බලයක් තියෙන්න ඕන, අනිත් එක බලය අසමතුලිත උනොත් බල පොරොත්තු නොවූ චලිතයන් සිද්ධ වෙන්න පුළුවන්, තව එකක් කාල් මාක්ස් කියපු විදියට ද්‍රව්‍ය සංවර්ධනය වීමට ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය සහ අරගලය....හෝව් !! හෝව් !!"

නයාට කියන්න උනේ එච්චරයි නූල කඩාගත්ත වවුලා මහා හයියෙන් හූවක් කියාගෙන උඩට පාවෙන්න  ගත්තා. මහා වේගෙන් උඩට යන වවුලා දිහා නයා බලාගෙන හිටියේ හරිම කණගාටුවෙන්.

විනාඩි 5ක් විතර වවුලා වලාකුළු අතරින් ඈත ඉහල අහසේ පාවෙනවා බලන් හිටපු නයා අපහු වට පිට බලන්න ගත්තා. තවත් ඒ වගේ ගොඩක් සරුංගල් කලබලෙන් උඩට එනවා, සමහරු නවතිනවා, සමහරු හෙමින් යනවා , සමහරු නූල කඩාගෙන උඩ යනවා, සමහරුන්ගේ ගැට ගහපු නූල් වල බර දරාගන්න බැරුව විනාඩි 25න් 30න් බිමට වැටෙනවා, සමහර සරුංගල් ලස්සන වෙන්න ලස්සන ලස්සන අකුරු එල්ලලා තියෙනවා, සිංහල හෝඩිය , ඉංග්‍රීසි හෝඩිය ඒවා විනාඩි 7න් 8න් බර දරාගන්න බැරිව වැටිලා කුඩුවෙලා යනවා.

"නයෝ නයෝ, මට උදව්වක් කරපං" අහල පුරුදු කටහඩක් , අහ් මේ අර උඩ ගිය වවුලා නේද

වවුලා වේගයෙන් පහලට එනවා, නයා ඌව අල්ලගන්න උත්සාහ කරත් සාර්ථක උනේ නෑ. හුළගට අහුවෙච්ච වවුලා වේගයෙන් නිශ්චිත දිශාවක්  නොමැතිව වරෙක පොලව දෙසටත් තවත් වරෙක නැවත අහස දෙසටත්, තවත් වරෙක පොලවට සමන්තරවත් වේගයෙන් පා වෙනවා. ටික වෙලාවක් එහෙට මෙහාට කරනම් ගහපු වවුලා එක පාරට පොලව දෙසට හැරී පයට කිලෝ මීටර 100ක විතර වේගයෙන් යනවා නයා බලන් හිටියේ ගොඩක් කණගාටුවෙන්.

නිමි.

Sunday, April 2, 2017

භූමරංගය



"අම්මා.... මගේ ෆ්රුට්ස් ඉවරයි, අප්පච්චිට එනගමන් අරන් එන්න කියන්න....".

අප්පච්චි මෝලට යන්න ලෑස්ති වෙන වෙලාව හරියටම දන්න නිපුනි කාමරේ ඇතුලෙ ඉදන් අම්මට කිව්වා. නිපුනිගේ අප්පච්චී ඒ කියන්නේ ගුණසෝම පොඩි කාලේ ඉඳන්ම කරේ වී මෝල් රස්සාව, මුලින්ම නිපුනිගේ සීය, ඒ කියන්නේ ගුණසෝමගේ තාත්තා ටව්මේ පොඩි වී මෝලක වැඩ කරා. ගුණසෝම ඉස්කෝලේ ගියේ යන්තම් හෝඩියේ පන්තියට විතරයි. අම්ම මැරුණට පස්සේ ගුණසෝම කළේ අප්පච්චි පස්සෙන් උදේ හවා වී මෝලට ආපු ගියපු එක. මුලු දවසම වී මෝලට වෙලා ගතකරපු ගුණසෝම අප්පච්චි එක්ක අපහු හවසට ගෙදර එනවා. අම්මා මැරිල අව්රුද්දක් යන්නත් කලින් ගුණසෝමගේ අප්පච්චි තවත් කසාදයක් කරගත්ත.

ගුණසෝමගේ අප්පචිගේ අත් දෙකම වී මොලේ මැෂින් එකට අහුවෙනකොට ගුනසොමට යන්තම් අවරුදු 15ක් උනා විතරයි. එදා ඉඳන් මල්ලිලා දෙන්නයි, නංගියි, පුංචි අම්මයි, තාත්තයි බලා කියා ගත්තේ ගුණසෝම. අප්පචිගෙන් පොඩිකාලේ ඉඳන් වී මෝල් සාත්තරේ ඉගෙන ගත්ත ගුණසෝමට වී මොලේ වැඩ කරගෙන යන එක අමාරුවක් උනේ නෑ. වී මොලේ මුදලාලිටත් කාත් කව්රුවත් නැති නිසා මුදලාලි ගුණසෝමට සැලකුවේ තමන්ගේම පුතෙකුට වගේ. මුදලාලි මැරුණට පස්සේ නීතියෙන් කෙසේ වෙතත් නිකන්ම වී මෝල ගුණසෝමට අයිති උනා. ගමේ උන් නම් කථාවට කියන්නේ තමන්ගේ ළමයට නැතිව ඉතිං ඕක කාට අයිති වෙන්නද කියල.

නිපුනි ඉගෙන ගන්නේ පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකේ අන්තිම අව්රුද්දෙ. හැම සති අන්තෙකම ගෙදර එන නිපුනිට අප්පච්චි නුවරින් පේරාදෙණියට කිට්ටුව වෙනම ගෙයක් අරන් දුන්නේ බෝඩිම් වල කෙල්ලව නවත්තන්න තියෙන ලෝබ කමට. අන්තිම අව්රුද්දෙ පළවෙනි සෙමිස්ටර් එක ඉවර වෙන්න ළඟ නිසා නිපුනි යාලුවෙක් එක්ක ගෙදර ඇවිත් පාඩම් කරනවා.

"වස විස නැති සුපිරි සහල්".  අලුත් ටීවී කොමර්ෂල් එකට වී ගබඩාවට උඩින් ගහපු බෝර්ඩ් එක ලස්සනට දිලිසෙනවා, ඒක දිහා ආඩම්බරයෙන් වගේ බලපු ගුණසෝම ගබඩාව ඇතුලට ඇවිදගෙන ගියා.

"සිරිල්, සිරිල්, කොහෙද උබ, මොකද මේ හාල් වලට වෙලා තියෙන්නේ ? බාගෙට බාගයක් ගුල්ලෝ ගහල, පණු කැදෙලි හැදිලා, රිටර්න් ඇවිත්"

"වැස්ස වැඩියි ලොකු මහත්තය, හැම තැනින්ම පින්න ගහනවා, ගබඩාව ටිකක් වියදම් කරලා හදන්න වෙයි මහත්තය, නැත්නම් මේක නවත්වන්න බෑ"

"උඹලට ඉතින් මේක හදන්න එක තමයි ලොකු, වෙන විදියක් හිතපන්කෝ මේවා නරක් නොවී තියාගන්න"

"ඉඩත් මදි ලොකු මහත්තය, අනිත් එක අපි වී තියාගෙන ඉන්න කාලෙ වැඩියි, ගොයියොත් හොර වෙලා බාගෙට වේලන්නෙ ඒකයි  මෙහෙම වෙන්නේ"

"උබ එනවද මට උගන්නන්න සිරිල්, මම මේවා කරන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි, අත දරුවා කාලේ ඉඳන් මම වී, හාල් එක්ක ඔට්ටු වෙන්නේ, අර උපාධි කාරයට කියපන් බයිලා නොගහ ගහන්න කියල අර අලුත් තෙල් ටිකක් වැඩිපුර, එතකොට ඕක අවරුදු දෙකක් උනත් තියාගත්ත හැකියි, අනෙ උගෙයි මගෙයි උපාධි"

ගබඩාවෙන් එලියට බැහැපු ගුණසෝම අපහු ජීප් එකට ගොඩ උනා.

"සිරිල්.. සිරිල්.... "

"ඇයි ලොකු මහත්තය ? "

"අර පරීක්ෂක උන්දලා අද හවස ඒවි, ආවම කෙලීන්ම එක්ක වරෙන් හෝටලේට"

"හොදයි ලොකු මහත්තය"

"ඉසුරු අපි යමන්"

"කොහෙටද සර්, හෝටලෙටද ?"

" නෑ... ගෙදර යමන්, මේ දවස් වල පුංචි නෝනා ගෙදර, වේලාසන ගෙදර යන්න ඕන, අනික ලොකු නෝනා වගේ නෙවෙයි පුංචි නෝනා, යන්තම් සුවදක් ආවත් හරියට දන්නවා දෙකක් දාල ඉන්නේ කියලා, ඊට පස්සේ කනක් ඇහෙන්න නෑ. දොස්තරලානේ බන් ඕවගේ පල විපාක දන්නවා ඇති හොදට"

වෙනද ගෙදර යන්න කලින් හෝටලේට ගිහින් විස්කි පොඩ්ඩක් හලාගන්න ගුණසෝම නිපුනි ගෙදර ඉන්න දවසට කටේ ගාන්නේවත් නෑ. නිපුනි කියන ඕන දෙයක් ගුණසෝම අහනවා. ගුණසෝමට ඕන උනේ කොහොම හරි ළමයින්ට උගන්නන්න, ගුණසෝම හැම තිස්සෙම හිතන දෙයක් තමයි කොච්චර සල්ලි බාගෙ තිබුනත් උගත් කමක් නැතිනිසා සමහර වෙලාවට මිනිස්සු ගණන් ගන්නෙ නෑ කියන එක. ඉතින් නිපුනි පව්ලට ආඩම්බරයක් ගෙනාව කියල ගුණසෝම නිපුනිට හරිම ආදරෙයි.

"සුපර් මාකෙට් එක ලගින් නවත්තපන්, පොඩි නෝනට පලතුරු ටිකක් ගන්න ඕන"

"ගුණසෝම සර් මොකද අද අවේලාවේ, තනියම, අද ගෝලයෝ නැද්ද ?"  කැෂියර් එකේ ඉන්න ගැණු ළමය ගුණසෝමගෙන් ඇහුව. මුලු රටම අදුනන චරිතයක් උනත් ගුණසෝම හරිම නිහතමානී කෙනෙක්  කියල තමයි සුපර් මර්කෙට් එකේ හැමෝම කියන්නේ. අවොත් ඇත්නම් විහිළුවක් තහළුවක් කරලා තමයි ගුණසෝම අපහු යන්නේ. අනික ගුණසෝමගේ හාල් තමයි සුපර් මර්කෙට් එක පිරෙන්න තියෙන්නෙ.

"ඉඳල හිටලා හරි අවෙලවෙත් වැඩ කරන්න ඕනනේ ළමයෝ. අනික මට මොකටද ගෝලයෝ, මේ අතපය හොදට තියෙන්නෙ.. දහ ගුණයක් ගණන් උනත් කමක් නෑ බයක් හැකක් නැතිව පොඩි උන්ට දෙන්න පුළුවන් දෙයක් තියෙන්නේ මේකේ විතරයි, ඔය තැන් තැන්වල කාබනික කාබනික කියල ගහල තිබුනට කව්ද දන්නෙ.. නේද ළමයො ?, අනික මේවට සහතිකත් තියෙනවනේ"  පලතුරු මල්ලත් ගත්ත ගුණසෝම කඩි මුඩියේ ජීප් එකට නැග්ගේ දැනටමත් නිපුනි බලන් ඇති කියල හිතාගෙන.

=======

"ඉන්දියාවේ බැරිනම් වෙන රටකට උනත් කමක් නෑ දොස්තර මහත්තොයෝ මට මගේ දුව බේරලා දෙන්න"

"විකිරණ ප්‍රතිකාර වලට ඉන්දියාව හොදයි, අපි කොහොම හරි දුවව සනීප කරගමු, අනිත් එක මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නිසා වැඩටික හොදට වෙනවා"

=======

"ඇයි ගුණේ අපිට මෙහෙම උනේ, අපි කවදාවත් මෙයාලට ජරා කෑමක් දීල නෑ, ඉපදුන දවසේ ඉඳන් දුන්නේ කාබනික එළවලු පලතුරු, ගෙදර බිත්තියේ ගෑවේ ඊයම් නැති තීන්ත, බෝතල් කරපු වතුර විතරයි දුන්නේ. ලෙඩක් හැදෙන්න ඕන අපිට, දැන් මෙහෙම කෑව බිව්වට අපි කොච්චර කුණු ජරාව කාල ඇද්ද ඒ කාලේ,  ආයේනම් මම පන්සල පළාතේ යන්නේ නෑ, කොච්චර පිං වැඩ කලත් වැඩක් නෑ"

ජීප් එකේ ඉදිරිපස අසුනේ වාඩි වෙලා ඉස්සරහ වීදුරුවට උඩින් පැද්දෙන සුදු පාට කොඩි වැල් දිහා කදුළු පිරිච්ච ඇස් වලින් බලාගෙන හිටපු ගුණසෝමට බිරිද කියපු දේවල් ඇහුනත් නැහුනා වගේ හිටියේ දෙන්න උත්තරයක් නැති නිසා.

"මොනවා හරි කියන්න ගුණේ"

"මොනවා කියන්නද මැණිකේ, අර සහතික , මේ සහතික කිව්වට කව්රුත් අපි වගේ වෙන්න ඇති මැණිකේ"

"ඒ කිව්වේ"


                 ===============     නිමි    ==================

Thursday, February 9, 2017

කව්රුත් ආතල් එකේ ( මම හැර )



අද 2017 පෙබරවාරි 10, නවම් පෝය (Navam Full Moon Poya)

ඉරිසියාව කියන්නෙත් අමුතු දෙයක්, හැම තිස්සෙම ඉරිසියාව කියන සංකල්පය ඔලුවට එන්නේ අපිට එළියෙන් තවත් මනුස්සයෙක් සම්බන්ධ කරගෙන. අපි සාමාන්‍යයෙන් අපිටම ඉරිසියා කරන්නේ නෑ. ඉරිසියාව කියන සංකල්පය එක්ක ගොඩක් වෙලාවට එළියෙන් සම්බන්ධ වෙන්නේ අපිට ගොඩක් හිතවත් හෝ සමීප කෙනක්. උදාහරණයක් විදියට කල්පනා කරලා බැලුවොත් අපිට ඉරිසියාව ඇති වෙච්ච අවස්ථා.

ළගම ඉන්න මිතුරා දිනෙන් දින දියුණුවට පැමිණීම (නව නිවසක් තැනීම හෝ නවීන පන්නයේ මෝටර් රථයක් මිලදී ගැනීම)
අල්ලපු ගෙදර හිතවතා නවීන පන්නයේ ගෘහ උපකරණ මිලදී ගැනීම හෝ මෝටර් රථයක් මිලදී ගැනීම
සමීපතම නෑ කෙනෙකු දිනෙන් දින දියුණුවට පැමිණීම
ලගම හිතවතෙකුගේ ළමයකු දක්ෂ ලෙස අධ්‍යාපනය හැදෑරීම හෝ ක්‍රීඩාවක නියැලීම

තව ගොඩක් අවස්ථාවන් තියෙනවා, සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපිට ඉරිසියාවක් ඇති වෙන්නේ ඉහත කී අවස්ථාවන් වලදී තමයි. මේක තනි තනි පුද්ගලයන්ගේ අව්ලක් නෙවෙයි, මේ ක්‍රමය ඇතුලේ අපිට නිතරම තරග කරන්න වෙනවා ඔය තරගයේ අතුරු ප්‍රථිපලයක් විදියට තමයි ඉරිසියාව එලියට එන්නේ.

ඔය ඉරිසියාවට ප්‍රධානම හේතුව තමයි අපි තවත් අයත් එක්ක සංසන්දනය කරන්න යන එක. ඕක අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියෙනවා, ඒක අඩු කරගන්න පුලුවන්නම් මාරම සිරා ජිවිතයක් ගෙවන්න පුළුවන්. මම කියන්නේ මම, මම මට කරගන්නා ලොකුම අපහාසය තමයි වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරගන්න එක. කිසිම මිනිස්සු දෙන්නෙක් එක වගේ වෙන්න බෑ. ඔය සංසන්දනය කිරීමේ අවසාන ප්‍රථිපලය තමයි ඉරිසියාව. කරුමේ කියන්නේ අපි හැමතිස්සෙම සංසන්දනය කරන්නේ අපේ ලගම ඉන්න හිත මිතුරන්, අසල්වැසියන් හා නෑදෑයන් සමග. ඉතින් අවසාන ප්‍රථිපලය විදියට අපි ඉරිසියා කරන්නෙත් ඔය කියපු සමීප හිතවතුන්ට.

අනිකා සමග සංසන්දනය කාලයක් තිස්සේ ඉස්සරහට ගියාම අපි දෙවිදියකට ප්‍රතිචාර දක්වනවා, එකක් අපිට අනිකා ලබාගත් දේවල් ගන්න බැරිනම් ඌට වැඩේ දෙන්නේ කොහොමද කියල හිතනවා, එක එක කථා පතුරනවා , එහෙම නැත්නම් අපි බොරුවට උන්ට වඩා උසස් කියල පෙන්නන්න හදනවා. ඒක ගොඩක් ලොකු භයානක තත්වයක්, එතකොට තමයි අතේ සතේ නැතත් හෙන ලොකු සීන් කරගෙන ඉන්න හදන්නේ, ඒක ඔලුවට පට්ට බරක්, දවසක් ගෙවාගන්න බොරු කෝටියක් කියන්න වෙනවා, හොද හොද බ්‍රෑන්ඩ් වලින් තමයි සෙල්ලම දාන්න වෙන්නේ.  හිනාවෙන්නේ බොරුවට, ටික දවසකින් තමන්ගේ අනන්‍යතාවය බිංදුවට බහිනවා, මොකද මම දිගටම ට්‍රයි කරේ වෙන කෙනෙක් වෙන්න.  ඕකට ඉස්සරට වඩා පහසු ක්‍රම තියෙනවා, facebook කියන්නේ ඒ වගේ එකක්. අනුන්ට තියෙන තමන්ට නැති දේවල් බොරුවට උලුප්පුවල පෙන්නන්න සහ තමන්ට තියෙන අනුන්ට නැති දේවල් වලින් අනුන් කුළුගන්වන්න facebook කියාපු තැන. ඒකත් ලෝක ආර්ථික අර්බුදය වගේ ටික ටික උඩට ගිහින් පුපුරලා යනවා. උදාහරණයක් විදියට මම කොහෙට හරි ගිහිං ෆොටෝ එකක් ගහල facebook දානවා අනිත් එකාට සල්ලි නැතත් Credit Card එකෙන් ගෙවලා කොහේ හරි ගිහින් ෆොටෝ එකක් ගහල දානවා. ඊටපස්සේ තවත් එකෙක් ඒක පරයා යන්න තවත් වැඩක් කරනවා. ඔහොම ඔහොම ගිහිං අන්තිමට එක වැලට කඩන් වැටෙනවා. ඉතින් තවත් එකෙක් ඒකට like එකක් දානවා නිකන් බොරුවට, ඉතින් like ගාන වැඩි උනාම ආතල්.

තමන් අනුන් එක්ක පුළුවන් තරම් අඩුවෙන් සංසන්දනය කරගෙන ඉන්න පුලුවන්නම් තමයි ගොඩක් හොද, එතකොට තමන්ට ඇත්තටම ආස දේවල් කරන්න පුළුවන්. අනුන් ආස දේවල් බොරුවට නොකර. රස්සාව ඇතුලෙත් එහෙමයි, තමන්ගේ යාලුවෝ කරණ දේවල් උන් ඉන්න තැන තමන් එක්ක සංසන්දනය නොකර ඉන්න පුල්වුන්නම් තමයි හොද. මොකද අපිට වෙන කෙනෙක් වෙන්න බැරි නිසා. එකෙන් කියන්නේ නෑ ජීවිතේට පරමාදර්ශ වැඩක් නෑ කියලා. පරමාදර්ශයක් අනුගමනය කරණ එකයි සංසන්දනය කරන එකයි දෙකක්.

දැන් අපි වෙන දිහාවකට හැරෙමු. ඉරිසියාවෙන් වැඩක් ගමු. වාහන 4ක් 5ක් ආරක්ෂාවට දාගෙන, සුපිරි වාහනේක නැගල පාරේ යන අපේ බදු මුදල් වලින් නඩත්තුවෙන කිසිම වැදගත් වැඩක් නොකර ඉන්න මනුස්සයෙක් දැක්කම ඉරිසියාවක් එන්නේ නෑ නේද. අපි හිතලම උන්ට ඉරිසියා කරමු. අපි මිලදී දන්නා බෙහෙත් පෙත්තෙන් පවා බදු ගහල රටට මෙලෝ වැඩක් නොකර ඉන්න උන්ට ඉරිසියා කරමු. ලගම ඉන්න යාළුවට, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයට ඉරිසියා නොකර අපි උන්ට ඉරිසියා කරමු. අස්සෙන් පස්සෙන් දාල කියක් හරි වැඩිපුර හම්බකරගන්න වේගයෙන් යන ත්‍රීවීල් වලට , අමාරුවෙන් කියක් හරි ඉතුරුකරලා bike එකක් ගත්ත උන්ට කුණුහරුපෙන් බන්නින්නේ නැතිව, පාරේ කොච්චර ට්‍රැෆික් තිබුනත් බලය පාවිච්චි කරලා අපිව පහුකරන් යන උන්ට ඉරිසියා කරමු. උන් හරියට වැඩේ කරානම් පාරේ ඔහොම ට්‍රැෆික් තියෙන්න බෑ, ත්‍රීවිල් අයියල ඔහොම යන්නේ නෑ. උන්ට වැඩේ කරන්න උවමනාවක් නෑ, මොකද උන්ට ට්‍රැෆික් අදාල නෑ. අනිත් හැම ක්‍ෂේත්‍රයකම ඔය ප්‍රශ්නේ තියෙනවා. අපි හැමතිස්සෙම ලගම ඉන්න ඒකාට ඉරිසියා කරලා හිත හදාගන්නවා.

මොකද කියන්නේ, පාට පක්ෂ, ආගම් , ජාති බේදයක් නැතිව, කට්ටියම එකතුවෙලා අසල් වැසියාට, ලගම මිතුරාට, අපේ පන්තියේ මිනිසුන්ට පදනම් විරහිතව ප්‍රේම කරණ ගමන් අපේ සල්ලි වලින් සැප විදින උන්ට ඉරිසියා කරමුද  ?

තමන්ගේ මහන්සියෙන් ජිවත් වෙන අපේ අම්ම, තාත්තා අතින්, ලඟම මිතුරා අතින්, අසල්වැසියා අතින්, පෙම්වතිය/පෙම්වතා අතින්  එක වරදක් උනත් තරහවෙන අපි, අපේ සල්ලි වලින් නඩත්තුවෙන එක වරදකින් කෝටි , ප්‍රකෝටි ගණන් විනාස වෙන, එක වරදකින් ජිවිත දස දහස් ගණනක් විනාස වෙන, ආණ්ඩුවේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල වල අපේ පංතියේ මිනිසුන් සමග මරාගෙන මැරෙද්දි අඳ, ගොළු , බීරන් ලෙසින් සිටිනා  මේ පාලකයන් අතින් කොච්චර වැරදි උනත් තරහ වෙන්නේ නැත්තේ මොකද ? උන් විදින සැපට ඉරිසියා නොකරන්නේ ඇයි ? ඒකට එච්චර මහන්න්සි වෙන්න ඕනෙත් නෑ.

Because of jealousy you are in constant suffering; you become mean to others. And because of jealousy you start becoming phony, because you start pretending. You start pretending things that you don’t have, you start pretending things which you CAN’T have, which are not natural to you. You become more and more artificial. Imitating others, competing with others, what else can you do? If somebody has something and you don’t have it, and you don’t have a natural possibility of having it, the only way is to have some cheap substitute for it. - OSHO

Wednesday, January 18, 2017

ස්වප්නා



වෛද්‍යවරුන් බොහොම කලබලෙන්, ඇමති තුමා තමයි රැස්වීම කැදවල තියෙන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ,දිස්ත්‍රික්කයේ උසස් නිලධරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්,  සෞඛ්‍ය සංවිධාන වල නිලධාරීන්ගෙන් ශාලාව පිරී ඉතිරී ගිහින්.

සෞඛ්‍ය සංවිධානයේ සභාපති තුමාගේ කථාව

"බෝ නොවන රෝග අපි ඉතාමත් දක්‍ෂ විදියට පාලනය කරා, දැන් අපි බලන්න ඕන මේ නියං තත්වය එක්ක කොහොමද මේ පැතිරෙන භයානක වසංගත මග හරවා ගන්නේ කියලා. "

"දැන් බෝ නොවන රෝග අපේ රටේ නැති තරම්, අපි ඩෙංගු වසංගතය නැති කරා, මදුරුවෝ දැන් ඉතිරි වෙලා ඉන්නේ අපේ පරීක්ෂණාගාර වල විතරයි, අපිට ශක්තිය තියෙනවා මේකට මුහුණ දෙන්න"

මොකක්ද ඒ සද්දේ , නොදකින් අදත් ඒ ගෙරි බල්ලා අහසට බුරනවනේ, හඳ පයලා ඇති ඒකයි, පුදුම තිබහක් තියෙන්නේ.

මදුරු දැල කෙරවරකින් උස්සපු රත්නපාල කනප්පුව උඩ තිබුණ වතුර වීදුරුව එක හුස්මට බීල දැම්ම. මොකක්ද බොල මම ඒ දැක්කේ. මදුරුවෝ නැහ් !! බෝ නොවන රෝග නැහ් !!.

-------------------------------
"අවසරයි අපේ හාමුදුරුවනේ"

"ආ රත්නපාල මහත්තය එන්න එන්න , ඉඳගන්න ඔය බංකුවෙන්, මොකද නිකං සෝමාරි වෙලා"

"මට නින්ද යන්නෑ හාමුදුරුවනේ , විකාර හීන පේනවා"

"මොනවද රත්නපාල මහත්තයට පේන ඔච්චර ලොකු හීන"

රත්නපාල සිහිනෙන් දුටු සියලු දේ ලොකු හාමුදුරුවන්ට විස්තර කරා. කේන්දර බලන්න ,සිහින පලාපල කියන්න වගේ දේවල් වලට ලොකු හාමුදුරුවෝ හරිම දක්ෂයි. රත්නපලගේ හීනය අහපු ලොකු හාමුදුරුවෝ කල්පනා කරන්න ගත්තා. හාමුදුරුවන්ගේ මූන කළු උනා, රත්නපාලට හාමුදුරුවන්ගේ මුණ බලන්නත් බයයි.

"රත්නපාල මහත්තයා සමාවෙන්න මෙහෙම කියනවට, මටනම් ඕක තෝරාගන්න බෑ, කෝකටත් තව කාට හරි කියල බලන්න" , " කෝකටත් නිදාගන්න කලින් ඉතිබිසෝ ගාථාව කියල නිදාගන්න, මොකක් උනත් භයානක හීනයක්"

--------------------------

රත්නපාල පත්තර ගොඩ අව්සන්න ගත්තා, මෙන්න අපේ සෞඛ්‍ය ඇමතිතුමා මුල් පිටුවේ. මොකක්ද මේ මුල් පුවත ?

"එක් වෛද්‍යවරකුට නිශ්චිත පුද්ගලයන් සංක්‍යවක් , නිරෝගීව ගතකරණ එක් දිනකට එක් පුද්ගලයකු විසින් වෛද්‍යවරයාට රුපියලක් ගෙවිය යුතුයි, රෝගීව ගෙවන දිනකට වෛද්‍යවරයා රෝගියාට රුපියල් 10ක් ගෙවිය යුතුයි"


ම්....  යන්න ඕන දිස්පැන්සරිය පැත්තට මොකක්ද මේ කියල බලන්න.

"නෑ නෑ ඔයාට ලෙඩක් නෑ. ඔයා හොදට ඉන්නේ ඔය, කෝකටත් අපි ලොකු ඉස්පිරිතාලෙට ගිහින් පරීක්ෂණයක් කරගමු ඉස්සෙල්ලා ලෙඩක් තියෙනවද නැද්ද කියලා, පස්සේ බෙහෙතක් ගමු, එතනිනුත් බැරිනම් අපි ආණ්ඩුවේ වියදමින් හරි රට ගිහින් හරි බලමු අසනීපයක් තියෙනවද නැද්ද කියලා."

"හොදයි දොස්තර මහත්තය මං ගිහින් එන්නම්"

වයස අවරුදු 90ක විතර සීයා කෙනෙක් දිස්පැන්සරියෙන් එලියට ආව , කෝ එච්චරද , ලෙඩ්ඩු නෑනේ, දොස්තර මහත්තුරු නේද අර හිනා වේවි විවේකෙන් කථා කර කර ඉන්නේ.

හපොයි දිස්පැන්සරියේ බලු තඩියා, සලන් බලන් සල සලන් .... කනප්පුව උඩ තිබුණ වතුර වීදුරුවත් පෙරලගෙන රත්නපාලය ඇඳ ළග බිම වැටිල.


නිමි..

Friday, January 6, 2017

පුංචි පහේ මං



මිනිස්සු කියන්නේ තවත් එක සත්තු ජාතියක්, කැලේට වෙලා ඉන්න කාලේ මිනිස්සුන්ට ලොකු තරගයක් තිබුණ අනිත් සත්තුත් එක්ක, තමන්ට ජීවත් වෙන්න ඕනනම් අනිත් සත්තු එක්ක තරග කරලා දිනන්න ඕන, නැත්නම් අනිත් එවුන් මිනිසුන්ව මරනවා. අලි කොටි වලස්සු වගේ සත්තුන්ට මිනිහට වඩා ලොකු ශක්තියක් තිබුණ, තාමත් තියෙනවා. එත් කොහොමද ඔච්චර භයානක සත්තු එක්ක තරග කරලා මිනිහ ඉතුරුවෙලා ඉන්නේ.

අනිත් සතුන් එක්ක සංසන්දනය කරල බැලුවම මිනිහට පොඩි වාසි ටිකක් තිබුණ. පිට කොන්ද කෙලින් පිහිටීම, අතේ මහපට ඇඟිල්ල වෙනම පිහිටීම වගේ දේවල්. ඒවා පොඩ් වගේ පෙනුනට අනිත් සතුන්ට නැති ඉතාමත් වටිනා ගුණාංග. මිනිහගේ අතේ ඇඟිලි වල වෙනස නිසා දණ්ඩක් තදින් අල්ලා ගැනීම වගේ දේවල් ඉතාමත් හොදින් කරන්න පුළුවන් උනා. ඉතිං අවරුදු දහස් ගානක් යනකොට කැලේ තියෙන දණ්ඩක් උල් කරලා අතින් හොදට අල්ලාගෙන ඕන සතෙකුට වැඩේ දෙන්න පුළුවන් ගානට මිනිහ දියුණු උනා. ඔහොම ඔහොම ශ්‍රම උපකරණ දියුණු උනා, එත් එක්කම මොලයේ තියෙන ස්නායු ටිකක් ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙන්න ගත්ත. ටික ටික දියුණු වෙලා , දුන්න , හෙල්ලය , තුවක්කුව , පරමාණු බෝම්බය , ජීව විද්‍යාත්මක අවි වගේ ඉතාමත් දරුණු ගනයේ යුද උපකරණ නිපදවන්න ගත්තා. දැන් ඒක කොච්චර දරුණු වෙලාද කියනවනම් කැලේ ඉන්න සත්තු ආරක්ෂා කරගන්න වෙනම නීති ,සංවිදාන හදන්න සිද්දවෙලා

ඔය ඔක්කොටම අමතරව මිනිහට තිබුණ උපතින්ම ලැබුණු දේවල් ටිකක්, ඔය මුරණ්ඩු , මල පනින ගතිය වගේ දේවල් ගොඩක් උපකාරී උනා ඒ කලේ ජිවත් වෙන්න. මොකක් හරි දේකට ඉක්මනට ප්‍රතිචාර දක්වන්න ඕන නැත්නම් වැඩේ කෙල වෙනවා.ඉතිං මිනිස් දරුවෙක් ඉපදෙන කොටම ඔය ගති ඔක්කොම එක්ක තමයි ඉපදෙන්නේ, කියන දෙයක් අහන්නේ නෑ, හරිම මුරන්ඩුයි , මල පනිනවා.

අපි උගන්නනවා කියල කරන්නේ දැනට තියෙන ක්‍රමයට ඔය සතාව හුරු කරවන එකට. එතකොට ඒක හරිම අමාරු වැඩක්, සතෙක් විදියට ඉපදෙන මිනිස් දරුවා අපිට ඕන විදියට හදාගන්න එක සරල නෑ. ඉතිං අපි පොඩි උන්ට කොච්චර බලෙන් , තරවටු කරලා ,ගහල උගන්නන හැදුවත් එච්චර සාර්ථක වෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ අපිට මල පනින එක විතරයි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපිට තේරෙන දේවල් අනිත් මිනිස්සුන්ටත් ඒ වගේම තේරෙන්න ඕන කියල, එකම අදාල වෙනවා පොඩි උන්ට උගන්නන්න ගියාම.

එක විදියකට ගත්තම මේක හෙනම චාටර් වැඩක්, ස්භාවිකව ඉපදෙන සතා අපිට ඕන විදියට හදනවා, හැබැයි එහෙම නොකර බෑ ඉතිහාසය පවතින්නේ ගොඩක් කාලයක් තිස්සේ එහෙම කරපු නිසා. හැබැයි මිනිස්සු පටලවා ගන්න තැනක් තියෙනවා, ඒක තමයි උගන්නනවා කියන්නේ තරග කරන්න පුරුදු කරණ එකට කියල. මොකද මේ ක්‍රමය ඇතුලේ ලොකු උනාම යන්තම් ජිවත් වෙන්න පුළුවන් තරග කරොත් විතරක් නිසා. එත් පොඩි කාලෙම තරගයට පුරුදු කරාම වෙන්නේ ඉගන ගන්න ලෝකය පටු වෙන එක, මොකද ගොඩක් පුළුල් උනාම තරග කරන්න අමාරු වෙනවා. ඉතිං තරග කරන්නනම් මොකක් හරි එක විෂයක් තෝරාගන්න වෙනවා. අනිත් එක තමා මේ ඉන්නේ සතෙක් කියල තෙරුන් ගන්නේ නැති එක.  ඒක තේරුම් නොගෙන පොඩි ඒකට වධ දෙනවා.

මෙහෙම උගන්වන එක අමාරු වැඩක්නි, ඒක නිසා පොඩි මොලයට හරිම බරක් දැනෙනවා, ඒක ඉගෙන ගන්න කෙනාටත්, උගන්නන කෙනාටත් දෙන්නටම පොදුයි. මාස තුනකට වරක් නිවාඩු දෙන්නේ ඒක නිසා කියල මම අහල තියෙනවා. මේක අද ඊයේ දෙයක් නෙවෙයි, ජාතක කථාවක් කියෙව්වත් එකේ තියෙනවා නිවාඩු කාලයක්. ඉතිං ඔය නිවාඩු කලේ ෆුල් ආතල් එකේ ඉන්න ඕන, ගුරුවරු , ළමයි දෙගොල්ලොම. පොඩ්ඩක් සෙල්ලම් කරලා, යාලුවෝ එක්ක වලියක් දාගෙන, ගහක ගලක නැගල, වතුරක බැහැල නාල. එතකොට තමයි ඔය ඔලුවේ බර සැහැල්ලු වෙන්නේ. එතකොට ආතල් ගන්න වෙන වෙන දේවල් හොයාගන්න ඕන වෙන්නේ නෑ. අපි මොකද කරන්නේ, නිවාඩු මාසෙත් අල්ලලා දානවා පන්තියකට. ඊට පස්සේ මේකට ආතල් ගන්න වෙන වෙන දේවල් ඕන වෙනවා ( ඒවා එක එක ළමයට වෙනස්,  මොනවද කියලා හොයාගන්න ඕන). නිවාඩු කාලේ උගන්නන මහන්සි වෙන එකෙන් වෙන්නේ හානියක් මිසක් වාසියක් නෙවෙයි. අඩුම ගානේ අවරුදු 12 -15ක් වත් යනකම් තරගය අමතක කරලා ඉන්න පුලුවන්නම්....

වෙනම කථාවක් : වෙනම පාරක්

මුලින් මුලින් වැඩේ හරියට සෙට් වෙන්නෙම නෑ. ඒත් ටික කාලයක් යනකොට අපිට නිකන්ම තේරෙන්න ගන්නවා උපතින් ලැබුණු දේවල් වලට වඩා යමක් මිනිස්සු හදල තියෙන්නේ කියලා. ඉතිං දැන් අපිට මල පනින එකෙන් අත පය ගොඩක් හයියට තියෙන එකෙන් වැඩක් නෑ. ඔය මනස දියුණු කරගන්න කියන්නේ ඒකට, මොලෙන් දෙන්න පුළුවන් ඕනෑම ගේමක් අද කාලේ. මනස දියුණු කරගන්න කියන එක අපිට තාම බැරි උනාට ගොඩක් පරණයි. බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ මල පනිනවා කියන්නේ "වෙන කෙනෙක් මැරියන් කියල අපි වස බොනවා වගේ වැඩක් කියලා".

ඔය අපේ රටේ සමහර නායකයෝ දිහා බැලුවමත් ඒක හොදට තේරෙනවා. කොච්චර කථා කිව්වද සමහර නායකයන්ට , නොකිව්වේ මොනවද, සත පහකට මායම් කරාද ?  ඒවගේ ප්‍රථිපල දැන් තියෙන්නේ ඔය උපරිමයෙන්ම. තමන්ට ඕන දේ කරගෙන ඉන්නේ අපුරුවට. ඔය කියපු කථාවලට උත්තර දෙන්න ගියානම්......

රාවය යනරග